Friday, September 5, 2014

තරබාරුව මට්ටු කරන ‘ජල චිකිත්සාව’ Hydrotherapy

රෝගාබාධවලින් වැළකී නීරෝගී ජීවිතයක් ගෙවන්නේ කෙසේද? රෝගාබාධ වැළැඳුණහොත් ඒ සඳහා කළ යුත්තේ මොනවාද? යන කරුණු පිළිබඳව අප ‘සුවමඟ’ මඟින් ඔබව සතිපතා දැනුම්වත් කරනවා.


අද අප ඔබව දැනුම්වත් කරන්නේ නීරෝගීව සුවෙන් සිටීමට උපයොගී කරගත හැකි ජල චිකිත්සාව (Hydrotherapy හයිඩ්‍රොතෙරපි) නම් ප්‍රතිකාර ක්‍රමය පිළිබඳවයි. දැන් මෙම ප්‍රතිකාර ක්‍රමය ලොව පුරා ඉතා ප්‍රචලිත ප්‍රතිකාර ක්‍රමයක් වුවත් ශ්‍රී ලංකාවට මෙය තවමත් ආධුනිකයි.
එහෙත් මෙම ප්‍රතිකාර ක්‍රමයේ මූලධර්මය ගහකොළ සෙවණේ හැදුණු වැඩුණු ඇළේ දොළේ පැන නාන ශ්‍රී ලාංකිකයින් බහුතරයකට ඉතාම සමීපයි.
අමිතා විජයපාල
Hydrotherapist
අපේ පැරැන්නන් ඉතාම නීරෝගීව සිටි බවත් ඔවුන් දියවැඩියාව, අධි රුධිර පීඩනය, ආතරයිටීස් වැනි වර්තමානයේ ඉතා බහුල රෝගාබාධ නොතිබුණු බවත් බොහෝ විට බොහෝ තැන කියැවෙනවා.
එමෙන්ම අතිධාවනකාරී ජීවන රටාවකට පුරුදු වර්තමානයේ බොහෝ දෙනෙකුට විවිධ රෝගාබාධ වැළඳී ඇති බවත් කියැවෙනවා. මෙය සත්‍ය කරුණක්. කය වෙහෙසා වැඩ කළ අපේ රටේ මිනිසුන් වැඩ කිරීමෙන් අනතුරුව ගඟේ ඇළේ දොළේ බැස දිය නෑමෙන් පසුව පිරිසිදු ආහාර වේලක් ගනු ලැබුවා.
මෙයයි ඔවුන් නිරෝගීව සිටීමට හේතුව. ගලා යන දිය පහරකින් ස්නානය කරන විට ශරීරයට දැනෙන සනීපය, එම ජලපහර මෙන්ම දිය බුබුළු ද ශරීරයේ ගැටීම නිසා ශරීරයට ලැබෙන සම්බාහනය නිරෝගී ජීවිතයකට ඉතාම ප්‍රයෝජනවත් වූ බව දැන් හෙළිවී තිබෙනවා.
එය ශරීරයට ලබාදෙන සත්කාරයක් වැනියි. ඇළේ දොළේ බැස ස්නානය කිරීමේ අවස්ථාව නොමැති වර්තමානයේ ජීවත්වන අයට දැන් එම සත්කාරය කෘත්‍රිමව ලබාගැනීමේ අවස්ථාව උදාවෙලා තිබෙනවා.
ඒ; ජල චිකිත්සාව (Hydrotherapy) මඟින්. අද ‘සුවමඟ’ සඳහා ජල චිකිත්සාව පිළිබඳව අදහස් දක්වන්නේ වෘත්තීය ජලචිකිත්සකවරියක වන මිරිහාන අංක 35ඛ්, අමාෂා හයිඩ්‍රොතෙරපි ආයතනයේ අමිතා විජයපාල මහත්මියයි.


ජලචිකිත්සාව (Hydrotherapy -හයිඩ්‍රොතෙරපි) යනු කුමක්ද?
ජල චිකිත්සාව යනු ජලය මඟින් කරනු ලබන ප්‍රතිකාර ක්‍රමයක්. මෙහිදී නවීන තාක්ෂණික උපකරණ කීපයක් යොදා ගන්නවා. උණුසුම් ජලය පිරුණු බේසමක්, ජල බුබුළු ඇතිකරවන යන්ත්‍රයක්, විවිධ වර්ගයේ ස්වභාවික ගල් අල්ලා සකසන ලද ප්ලාස්ටික් පලසක්. එම උපකරණ කට්ටලයට අයත්. එම පලස අතුරා තිබෙන්නේ ජල බේසම පතුලේ.
ප්‍රතිකාරය ලබාගන්නා තැනැත්තා හිඳගන්නේ එම පලස මතයි. ජල චිකිත්සාව හෙවත් හයිඩ්‍රොතෙරපි ප්‍රතිකාරය භෞත චිකිත්සාව වැනි චිකිත්සක ප්‍රතිකාර ක්‍රමයක්. යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට පෙර ජල බේසමේ ඇති උණුසුම් ජලයට විවිධ ඖෂධීය තෙල් වර්ග එක්කරනවා.
ප්‍රතිකාරය ලබන තැනැත්තා පෙළෙන ආබාධය අනුව, ඔහුගේ හෝ ඇයගේ ශරීරයේ ස්වභාවය අනුව යොදාගන්නා ඖෂධීය තෙල් වර්ගය වෙනස් වෙනවා. නියම අයුරින් ප්‍රතිඵලය ලැබීමට ජල බේසම තුළ ඉරියව් 6කින් සිටිය යුතුයි.
මෙම ප්‍රතිකාරයට හුරුවන තෙක් විනාඩි 20ක් පමණ ප්‍රතිකාර ගැනීම ප්‍රමාණවත්. ඔහු එක ඉරියව්වක විනාඩි 3ක් පමණ සිටිය යුතුයි. එම ඉරියව්වල සිටින විට වේගවත් උණුසුම් ජල බුබුළු ශරීරය පුරා වදිනවා. එහිදී ශරීරයේ නිල ස්ථාන 329ක් පමණ උත්තේජනය වීමකට ලක්වෙනවා.”

”එය ශරීරයට ලැබෙන සම්බාහනයක් වැනි ක්‍රියාවක්. ජලබුබුළු වැදුණු ස්ථානය සම්බාහනය වී රුධිර ගමනාගමනය ඉතා හොඳින් සිදු වෙනවා. සාමාන්‍යයෙන් පළපුරුදු අයෙක් දිනකට විනාඩි 30ක් පමණ මෙම ප්‍රතිකාරය ලබාගැනීම ප්‍රමාණවත්.
හොඳ ප්‍රතිඵල ලැබීමට සතියකට තුන්වරක්වත් මෙම ප්‍රතිකාරය ලබාගත යුතුයි. මෙම ප්‍රතිකාරය ලැබීමට පැය 2කට පෙර ආහාර ගැනීමෙන් වැළකී සිටීම වැදගත්. ප්‍රතිකාරය ලබාගැනීමට මොහොතකට පෙර උණුසුම් ජල වීදුරුවක් පානය කිරීම වැදගත්. අදාළ ඉරියව්වලින් නියමිත කාලය ප්‍රතිකාරය ලබාගත්විට කිලෝමීටර් 4ක් 5ක් පමණ දිවීමෙන් ඇතිවන වෙහෙසක් දැනෙනවා.
එමෙන්ම ශරීරයෙන් කැලරි 300ක් 400ක් අතර ප්‍රමාණයක් දහනය වීමක් ද සිදුවෙනවා. විනාඩි 20ක් 30ක් පමණ ජල ප්‍රතිකාරය ගැනීමෙන් අනතුරුව තවත් විනාඩි දෙක තුනක් පමණ ජල බේසම තුළම නිසොල්මන්ව සිටීම වැදගත්.
එමෙන්ම ප්‍රතිකාරයට ලක්වී පැය 2ක් පමණ ගතවනතෙක් කිසිදු ආහාරයක් නොගෙන සිටීමද වැදගත්. තරමක උණුසුම් ජල වීදුරුවක් පානය කිරීම සුදුසුයි. මෙම ප්‍රතිකාරයට ලක්වූ විට ශරීරයේ රෝම කූප අසල ඇති සිදුරු පිරිසිදු වී විවර වෙනවා. එනිසා ප්‍රතිකාරය ගෙන විනාඩි 20ක් පමණ ගත වන තෙක් අපිරිසිදු දූවිලි සහිත පරිසරයට නිරාවරණය නොවී සිටි යුතුයි.
ඒ; විවර වී ඇති සමේ සියුම් සිදුරු තුළින් ශරීරය තුළට විෂබීජ ගමන් කළ හැකි නිසයි. මෙම ජල ප්‍රතිකාරය ලබාදීමට පෙර එම පුද්ගලයාගේ උස, බර, රුධිර පිඩනය වැනි විස්තර සොයා බලා ලේඛන ගත කරනවා.

ජල චිකිත්සාව (හයිඩ්‍රොතෙරපි) මඟින් සුවකර ගත හැකි රෝගාබාධ මොනවාද?
”විශේෂයන්ම අධිරුධිර පීඩනය, අඩු රුධිර පීඩනය, දියවැඩියාව, ඇදුම, ආතරයිටීස්, මළබද්ධය, කොඳු ඇට පෙළේ ආබාධ, පාදවල නහර ගැටගැසීම, ඉරුවාරදය, විවිධ ස්නායු ආබාධ, ආඝාතය, නින්ද නොයාම, විශේෂයෙන්ම කාන්තා ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන විවිධ ආබාධ සඳහා හයිඩ්‍රොතෙරපි ප්‍රතිකාරය මඟින් සුවයක් ලබාගත හැකියි.
මෙහිදී අධි රුධිර පීඩනය, දියවැඩියාව, ආතරයිටිස් වැනි රෝගාබාධ සඳහා ඖෂධීය ප්‍රතිකාර ගන්නා අතරතුර හයිඩ්‍රොතෙරපි ප්‍රතිකාරවලට යොමුවීම වැදගත්. කලක් ගතවූ පසුව ඇතැම් රෝග සඳහා ඖෂධීය ප්‍රතිකාර අවශ්‍ය වන්නේ නෑ.
දිනකට විනාඩි 20ක 30ක පමණ හයිඩ්‍රොතෙරපි ප්‍රතිකාරයකට යොමුවීමෙන් ශරීරයෙන් විශාල කැලරි ප්‍රමාණයක් දහනය කරගත හැකි නිසා ස්ථූලභාවය හෙවත් තරබාරුකම අඩුකර ගැනීමට මෙම ප්‍රතිකාර ක්‍රමය ඉතා ප්‍රයෝජනවත් බව දැන් හෙළිවී තිබෙනවා.”
”ශරීරය වෙහෙසා කරන ව්‍යායාමවලින් ප්‍රතිඵලයක් ජල ප්‍රතිකාරවලට ලක්වීමෙන් ද ලබාගත හැකි වීම විශේෂත්වයක්. විශේෂයෙන්ම කය වෙහෙසා කරන ව්‍යායාම මඟින් තරබාරුකම අඩුකර ගැනීමට අපහසුවෙන් වෙහෙසෙන පුද්ගලයින්ට ජලචිකිත්සාව ඉතා සුදුසු ප්‍රතිකාරයක්.

මෙය ඉතාම ස්වභාවික ප්‍රතිකාර ක්‍රමයක් නිසා තරබාරු බව අඩුවීමේදී සම එල්ලා වැටීමක් සිදුවන්නේ නෑ. මෙහිදී මාංශපේශීන් සිහින් වීමක් සිදුවන නිසා ඉතා හොඳින් තරුණ පෙනුම ආරක්ෂා කරගැනීමේ අවස්ථාව ලැබෙනවා.
රූපලාවණ්‍ය අංශයෙන් ද හයිඩ්‍රොතෙරපි ප්‍රතිකාර ක්‍රමය ඉතා ප්‍රයෝජනවත්. ඉතා නිරෝගී පෙනුමැති සමක් හිමිකර ගැනීමටත් තරුණ පෙනුමක් ළඟාකර ගැනීමටත් හැකිවීම ජලචිකිත්සක ප්‍රතිකාර ක්‍රමයේ විශේෂ ප්‍රතිලාභයක්.”

මෙහිදී ඖෂධීය ද්‍රව්‍ය භාවිතා වෙනවාද?
”ඔව්; ජල ප්‍රතිකාරය ලබාගන්නා බේසමේ ඇති මඳක් උණුසුම් ජලයට විවිධ ඇරෝමා තෙල් වර්ගත් ඇතැම් ලුණු වර්ගත් යොදා ගන්නවා. යොදාගන්නා ඇරෝමා තෙල් වර්ගය පුද්ගලයාගෙන් පුද්ගලයාට, රෝගයෙන් රෝගයට වෙනස් වෙනවා.
මෙහිදී අධිරුධිර පීඩනයෙන් පෙළෙන පුද්ගලයින් සඳහා රෝස්මරි තෙල් ද, අස්ථි සහ මොළය උත්තේජනය කිරීම සඳහා පයින් ආරයිටිස් ද, සන්ධි ආබාධ සඳහා හේසීඩ් ද, මාංශපේශි තදවීම සඳහා ජුනිපර් ද, ඇදුම රෝගය සඳහා යුකැලිප්ටස් ද, මානසික ආතතිය සඳහා ලැවෙන්ඩර් තෙල් ද, සමේ ඇති විවිධ ආබාධ සඳහා කැමොමයිල් තෙල් ද භාවිතා කරනවා. මීට අමතරව සිවීඩ් සෝල්ට්, ලෙමන් සෝල්ට්, මෙලිස්සා සෝල්ට් වැනි ලුණු වර්ග ද භාවිතා කරනවා.

ජල චිකිත්සාව ඕනෑම අයකුට සුදුසුද? මෙහි අතුරු ආබාධ තිබෙනවාද?
”ඕනෑම වයසක ජීවත්වන ඕනෑම අයකුට මෙම ප්‍රතිකාරය ලබාගත හැකියි. රෝගී අයකුට මෙමඟින් රෝග සුවකර ගත හැකියි. නීරෝගී අයකුට තම නිරෝගී භාවය වැඩිදියුණු කරගත හැකියි.
ගර්භණී මවකට පවා මෙම ප්‍රතිකාරය ලබාගැනීමේ හැකියාව තිබෙනවා. එයින් පැහැදිලි වෙනවා නේද, ජලචිකිත්සාව ඕනෑම අයකුට කළ හැකි බව. මෙම ප්‍රතිකාර ක්‍රමයෙන් කිසිදු අහිතකර ප්‍රතිඵලයක් අත්වන්නේ නෑ.
සිහින් සිරුරක් ඇති අයකුට සිතෙන්නට පුළුවනි මෙම ප්‍රතිකාර කිරීම මඟින් තම ශරීරය තවත් සිහින් වේ යැයි කියා. එසේ සිදුවන්නේ නෑ. අප ජලචිකිත්සක ප්‍රතිකාරවලට යොමු විය යුත්තේ ජලචිකිත්සකවරයකුගේ (Hydrotherapist) අධීක්ෂණය යටතේ. කලක් ගතවූ පසුව තමන්ටම මෙය කරගත හැකියි.

No comments:

Post a Comment