Monday, September 22, 2014

විභාග ෆේල් කරන, ස්‌නායු ලෙඩ කරන, පිළිකා හදන මොළ ඝාතකයෝ: සියලුම දෙමවුපියන්ගේ අවධානය පිණිසයි!


අද දවසේ අප පරිභෝජනය කරනු ලබන ඇතැම් පාරිභෝගික භාණ්‌ඩ සහ ආහාර ද්‍රව්‍යයන් තුළ අන්තර්ගතව තිබෙන සහ පරිසරයට බැහැර කරනු ලබන ඇතැම් හානිකර රසායනික ද්‍රව්‍යයන්, මානව ස්‌නායූ පද්ධතියට සහ මොළයට හානිකර ලෙස බලපාන බව සොයා ගෙන තිබේ. මෙම රසායනික ද්‍රව්‍යයන්වල අහිතකර බලපෑම් හේතු කොට ගෙන ළමුන් සමාජගතවීමේදී ඇතිවන දුර්වලතා (social impairment in kids) හැසිරීමේ අසාමාන්‍යතා, (Behavioral disorders) මතක ශක්‌තිය සහ බුද්ධිය අඩු වීම, (Lower IQs) ළමුන්ට වැළඳෙන අවධාන ඌනතා අධි ක්‍රියාකාරි ආබාධය, (Attention deficit hyperactivity disorder /ADHD) ඔටිසම්, (Autism) මොළයේ ඇති වන පිළිකා තත්ත්වයන්, පාකින්සන්ස්‌ රෝගය, (Parkinson’s Disease) ඇල්සයිමර්ස්‌, (Alzheimer’s Disease) වැනි රෝග තත්ත්වයන් ඇති විය හැකි බව හෙළි වී ඇත.

තමන්ගේ දූ දරුවන් උදේ ඉඳන් රෑ වෙනකල් කටේ දමා ගන්නේ මොනවාද, හිසේ, ඇඟේ ගාන්නේ මොනවාද, බලන්නෙ අහන්නෙ මොනවාද, ජීවත් වෙන්නේ මොන වාගේ පරිසරයකද යන්න පිළිබඳව මෙළෝ හසරක්‌ නොමැතිව අධ්‍යාපනය ටියුෂන් වෙළෙන්දාටත්, මතක ශක්‌තිය දෙවි වරුන්ට හා දේවාලවල කපුවන්ටත්, ජීවම් කළ තලගොයි දිවටත් පවරා තමන්ගේ 'ඇරියස්‌' දරුවන්ගෙන් ලබා ගන්න උත්සාහ කරන, ළමයින් තරම්වත් මුහුකුරා නොගිය වැඩිහිටියන් බහුතරයක්‌ වෙසෙන රටක, හිසේ සෞඛ්‍ය පිළිබඳව සිතන මතන උදවිය විසින් ඔලුවට දා ගත්තොත් මොළයට ලාභයක්‌ විය හැකි කරුණු කාරණා කිහිපයක්‌ පිළිබඳ අපි දැන් අවධානය යොමු කරමු. 

මොළය සෝදා දමන හිස සෝදන ශැම්පෝ.
අපේ රටේ කුඩා ළමුන් පවා දැන් දැන් හිස සේදීමට විවිධ ශැම්පෝ වර්ග, කන්ඩිෂනර් වර්ග භාවිත කරනු සුලභව දකින්නට ලැබෙයි. ලෝකයේ පිළිගත හැකි පර්යේෂණවලින් හෙළි වී තිබෙන, යුරෝපා කොමිසමේ රටවල් විසින් සීමා කිරීම්, තහනම් කිරීම් සහ අවධානයෙන් සිටිය යුතු යෑයි අවධාරණය කොට ඇති ඇතැම් හානිකර රසායනික ද්‍රව්‍යයන් ඇතැම් ශැම්පෝ, කන්ඩිෂනර්, බොඩි ලෝෂන්, දහදිය ගඳ වලක්‌වන ආලේපන වර්ග, සුවඳ විලවුන් වර්ග තුළ අන්තර්ගත වෙන බව සොයා ගෙන ඇත. මේවා බොහොමයක්‌ම ගර්භාෂයේ වැඩෙන දරුවන්ගේ මොළයට පවා හානි කරන්නට හේතු වෙන බවත් පැවසේ. මේ සඳහා උදාහරණ ලෙස, Methylisothiazolinone (MIT) නමැති රසායනිකය අසාත්මිකතා සහ ස්‌නායු විෂකාරක ලක්‌ෂණ පෙන්නුම් කර ඇති බැවින්, කැනඩා රජය විසින් තහනම් කර ඇති ආකාරය පෙන්වා දිය හැකිය. තවද මෙම සංයෝග සහිත නිෂ්පාදන යුරෝපා සංගමය සහ ජපානය විසින් භාවිතය සීමා කර ඇත. 


Diethanolamine නමැති රසායනික සංයෝගයද යුරෝපා රටවල් විසින් දැඩි සීමාවන්ට යටත්ව භාවිත කරන්නට අවසර දී ඇත. ස්‌නායු විෂකාරක සහ පිළිකාකාරක ලක්‌ෂණ පෙන්නුම් කරන බව සොයා ගෙන ඇත. 

මදුරුවන්ටත් වඩා භයානක මදුරු කොයිල්, 
මදුරු කොයිල්, එරසෝල්, මැට්‌ වර්ග වැනි මදුරු විකර්ශක වල ක්‍රියාකාරි සංඝටක ලෙස 'පයිරෙත්‍රොයිඩ' වර්ග (Pyrethroids) අන්තර්ගත වෙයි. මේවාට දීර්ඝ කාලීනව නිරාවරණය වීමෙන්, මොළයේ ස්‌නායූ සෛල මත අසාමාන්‍ය ප්‍රතිඵල ඇති කළ හැකි බවට පර්යේෂණ මගින් සොයා ගෙන තිබේ. මදුරු විකර්ශක වල ඇති 'ඇලත්‍රීන්' මගින් මොළයේ අභ්‍යන්තර රුධිර වහනය වීම වළක්‌වාලන බාධකයේ (Blood Brain Barrier) පාරගම්‍යතාවය වැඩිකරන බැවින් මොළයට සිදුකරන බලපෑම සුළුපටු වන්නට නොහැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. දීර්ඝ කාලීනව මදුරු කොයිල් දුමට නිරාවරණය වීමෙන්, මොළයේ ස්‌නායූ සෛල වල 'ඇසිටයිල් කෝලීන් ප්‍රතිග්‍රාහක' වල (MAChRs) යළි යථා තත්ත්වයට පත් කළ නොහැකි අන්දමේ වෙනස්‌වීම් ඇති කරන බවත් සොයාගෙන ඇත. 


මතක ශක්‌තිය අඩු කරන ෆ්ලෝරයිඩ්.
දත් සහ අස්‌ථිවල නිරෝගිභාවය උදෙසා වැදගත් මෙහෙයක්‌ ඉටු කළ ද, ෆ්ලෝරයිඩ් අධික ලෙස ශරීරගත වීමෙන් දත් සහ අස්‌ථි පමණක්‌ නොව මොළයේ වර්ධනයටත් හානිකර ලෙස බලපාන බවට තහවුරු වී තිබේ. එබැවින්, විශේෂයෙන් කුඩා ළමුන් දන්තාලේප ගිලීම සහ ස්‌වභාවයෙන්ම ජලයේ ෆ්ලෝරයිඩ් අධික පළාත් වල වෙසෙන උදවිය ෆ්ලෝරයිඩ් ඉවත් නොකළ (ෆිල්ටර් නොකළ) ජලය පානයට ගැනීම අනතුරුදායක විය හැකි බව අවධාරණය කළ යුතුව ඇත. (http://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3491930)


ලෙඩ්, රසදිය සහ ආර්සනික්‌ වැනි බැර ලෝහ.
මේවා අපේ සිරුරට ඇතුල් වූ විට එම බැර ලෝහවලට අපගේ සිරුරු තුළදී කරන්න කිසිම ජීව විද්‍යාත්මක කාර්යයක්‌ ඇත්තේ නැත. ඒ නිසා මේවා ශරීරය තුළ එකතු වේ. රුධිරය ඩෙසි ලීටර් එකක 'ඊයම්' මයික්‍රො ග්රෑම් පහකට වඩා වැඩියෙන් තිබුණහොත්, ඒවා ජාන වෙනස්‌ වීම් වලටත් බලපානු ලබයි. මේ අගය මයික්‍රොග්‍රෑම් දහයට වඩා වැඩි වුණොත්, දරුවන්ගේ බුද්ධි මට්‌ටම පහළ වැටෙන බව සොයා ගෙන ඇත. මුද්‍රිත කඩදාසි සහ ෂොපින් බෑග් ග්‍රොසරි බෑග්වල ආහාර දැවටීම, වාහන දුම, ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය, ඇතැම් තීන්ත වර්ග, චීනයෙන් ආනයනික සෙල්ලම් බඩු, සීඑෆ්එල් බල්බ පරිසරයට අනාරක්‌ෂිතව බැහැර කිරීම, ලොකු මුහුදු මාළු අනුභවය (තෝර, මෝර, තලපත්, කෙලවල්ලා වැනි) කෘෂි රසායනික ද්‍රව්‍යය මෙම බැර ලෝහ වර්ග ශරීර ගත වෙන සුලභ ක්‍රම කිහිපයකි.


මව් කුසේදීම දරුවාගෙ මොළයට පහර දෙන පළිබෝධනාශක. 
ඇතැම් පළිබෝධනාශක වර්ගවල අඩංගු ක්‍රියාකාරි සංඝටක සහ ඒවායේ අඩංගු ඇතැම් ආකලන ද්‍රව්‍යවල (Pesticide additive - උදාහරණ, පිපරොනිල් බියුටොක්‌සයිඩ් piperonyl butoxide) ඉතා සුලු මාත්‍රාවකට (ක්‌ෂණිකව විෂ ලක්‌ෂණ පෙන්නුම් නොකළද) දීර්ඝ කාලයක්‌ තිස්‌සේ නිරාවරණය වීමෙන් යළි පුනරුත්ථාපනය කළ නොහැකි තරමේ හානියක්‌ මොළයට සිදුවන බව පැවසේ. විශේෂයෙන් ඕර්ගනෝපොස්‌පේට්‌ (Organophosphates) කාණ්‌ඩයේ (මේවා 'ස්‌නායුක විෂ' ගණයට අයත් වෙයි.) පළිබෝධනාශක වලින් වැඩි බලපෑමක්‌ සිදු කෙරෙන අතර, අපේ රටේ ද සුලභව භාවිත කෙරෙන පළිබෝධනාශක රසායනිකයක්‌ වන 'ක්‌ලෝපයිරිෆෝස්‌' (Chlorpyrifos) ප්‍රබල මොළ ඝාතකයෙකු ලෙස හඳුනා ගෙන ඇති බැවින්, යුරෝපා සංගමයේ රටවල් වල මෙම රසායනිකය ගෘහාශ්‍රිත කෘමිනාශක නිෂ්පාදන වල අඩංගු කිරීමද තහනම් කර ඇත. 


' රිසර්ච් ගේට්‌' වෙබ් අඩවියේ පළකර තිබෙන ඡේ. පී. මාරසිංහ සහ සී. මාගමගේ ඇතුළු පර්යේෂකයින් පිරිසක්‌ විසින් සිදු කර ඇති පර්යේෂණයකට අනුව පිළිවෙලින් මෙරට සහල්, මුකුණුවැන්න, ගෝවා, බෝංචි ඇතුළු ආහාර බෝග සාම්පල වල ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ ජාත්‍යන්තර කෝඩෙක්‌ස්‌ ප්‍රමිතීන් (Codex Alimentarius Committee) පවා අභිබවන මට්‌ටමකින් ක්‌ලෝපයිරිෆෝස්‌ රසායනිකයේ ශේෂයන් අන්තර්ගත වෙන බව හෙළි වී තිබේ. අනෙක්‌ අතට පළිබෝධනාශක යහමින් යොදනු ලබන වගා බිම් ආසන්නයේ ජීවත් වන විශේෂයෙන් ගර්භනී මව්වරු සහ කුඩා දරුවන් ගේ මොළයට බරපතල හානියක්‌ කරන්නට ද මෙම කෘෂි රසායනික ද්‍රව්‍ය වලට පිළිවන් වන බවත් අනාවරණය වේ.

දිව පිනවා මොළය නසන ආහාර රසකාරක
කඩේ පිළියෙල කෙරෙන පොල් සම්බෝලයේ පටන් සුප් කැට, සෝස්‌, පේස්‌ට්‌ වර්ග, බිස්‌කට්‌, කුකීස්‌ වර්ග දක්‌වා වන සකස්‌ කළ ආහාර ද්‍රව්‍ය අති බහුතරයකම යහමින් අඩංගු වන වන MSG නොහොත් මොනො සෝඩියම් ග්ලුටමේට්‌ නමැති කෘත්‍රිම රස ප්‍රවර්ධකය ප්‍රබල ස්‌නායු විෂකාරකයක්‌ ලෙස හ`දුනාගැනේ. මෙම රසායනිකය මගින් මොළයේ මතකයට සම්බන්ධ වන ස්‌නායු දැඩි ලෙස උත්තේජනය කෙරේ. කාලයක්‌ තිස්‌සේ මෙම රසායනිකයට නිරාවරණය වන්නෙකුගේ මොළයට ස්‌ථිර ලෙසම හානි සිදු විය හැකි බව සොයා ගෙන තිබේ. 


කෘත්‍රිම ආහාර වර්ණක. 
ට්‍රාටසීන් (කහ පාට/ E Number,102), ඉන්ඩිගෝ කාමයින් (E. 132.) වැනි කෘත්‍රිම ආහාර වර්ණක යෙදු ආහාර නිතර අනුභව කිරීම නිසාවෙන් ළමුනට ඉගෙනීමේ අපහසුතා සහ හැසිරීමේ ආබාධ සහ වෙනත් ස්‌නායු ආබාධ ඇති විය හැකි බව, සදම්ටන් සරසවියේ මහාචාර්ය ජිම් ස්‌ටීවන්සන් මහතා ඇතුළු විද්‍යාඥයින් අවධාරණය කරයි (Professor Jim Stevenson from Southampton University, UK.)


සීනි සහ කෘත්‍රිම පැණිරසකාරක - (Sweetener)
අධික සීනි පරිභෝජනය, මොළයේ යහපත් ක්‍රියාකාරිත්වයට ද බරපතල ලෙස හානි කරන බව සනාථ වී තිබේ. දිනකට ළමයෙකුට උපරිම ලෙස අනුභව කළ හැකි නිර්දේශිත සීනි ප්‍රමාණය තේ හැඳි 4 ක්‌ (ග්‍රෑම් 20) වුවද, අපේ රටේ අම්මලා සීනි තේ හැඳි දෙක තුනක්‌ දමා තම දරුවන්ට කට කපලා කිරි වීදුරු දෙක තුනක්‌ම පොවන නිසාත්, සීනි දමා සකස්‌ කළ ටොෆි, චොක්‌ලට්‌, කේක්‌, බනිස්‌, බිස්‌කට්‌, ජෙලි, කිරි පැකට්‌, අයිස්‌ පැකට්‌, වැනි ලට පට කෑමත් මහ ගොඩක්‌ ඒ දරුවන් විසින් ආමාශගත කර ගන්නා නිසාත්, අපේ රටේ දරුවෙකු දිනකට අනුභව කරනු ලබන සීනි ප්‍රමාණය ග්‍රෑම් සියය ද ඉක්‌මවන බව අවධාරණය කළ යුතුව තිබේ. 


තවද, සුක්‍රලෝස්‌, ඇස්‌පාටෙම් ඇසෙසල්ෆේම් කේ සහ සැකරින් (Sucralose , Aspartem, Acesulfame K, Saccharin) වැනි කෘත්‍රිම පැණි රස කාරකයන්ද, මන්ද මානසික වර්ධනය, ස්‌නායූ ආබාධ, කාන්තාවන් ගේ ඔසප් චක්‍රයේ අක්‍රමිකතා, පිරිමින්ගේ ලිංගික බෙලහීනතාවය සහ මඳ සරුභාවයට ද හේතු විය හැකි බව විද්‍යාඥයින් ප්‍රකාශ කරයි. සීනි සහ ඇතැම් කෘත්‍රිම පැණි රසකාරක මොළයේ මතක ගබඩාව වන හයිපොකැම්පස්‌ (Hippocampus) මත අහිතකර ලෙස බලපාන බවත් සොයා ගෙන තිබේ. පැණි බීම, සිසිල් බීම, ශක්‌ති ජනක පාන වර්ග, අඩු කැලරි ආහාර, සීනි රහිත ආහාර, (Sugar free) ජෑම්, කෝඩියල්, චුවින්ගම්, ක්‌ෂණික පලතුරු පාන වර්ග, සීනි රහිත පැණි රස කෑම වැනි ආහාර නිෂ්පාදන තුළ කෘත්‍රිම පැණි රසකාරක වර්ග තිබිය හැකිය. 

Diacetyl (Butter Flavoring) 
ඔබ අනුභව කරන සකස්‌ කළ කෑමවල බටර් සුවඳට හේතු වන කෘත්‍රිම රස කාරකයයි. මෙය මොළයේ ආරක්‌ෂක පටලය විනිවිද යන බව සොයා ගෙන තිබෙන අතර, විශේෂයෙන් ඇල්සයිමර්'ස්‌ රෝගයට හේතු වෙන බව සොයා ගෙන ඇත.


Aluminum - 
පෘතුවිය තුළ සුලභම මූලද්‍රව්‍ය වන්නේ ඇළුමිනියම් ය. පානීය ජලයේ පවා අංශුමාත්‍රිකව මෙම මූලද්‍රව්‍ය තිබිය හැකිය. මෙම බැර ලෝහයේ විශේෂත්වයක්‌ වන්නේ එය අපගේ මොළය තුළ හානිකර ලෙස පැල පැදියම් වන්නට දක්‌වන මනාපයයි. ඇළුමිනියම් භාජන වල අම්ල සහිත ආහාර පිසීම සහ ආහාර ගබඩා කිරීම මෙම බැර ලෝහය ශරීරගත වන ප්‍රධාන ක්‍රමයයි. සකස්‌ කළ ආහාර වලට සුලභව යොදනු ලබන ප්‍රතිකැටිකාරක (Anti caking agents) වර්ග වල, බේකින් පව්ඩර්, ඇතැම් ඩිඔඩ්රන්ට්‌ වර්ග (Deodorants) ඇතැම් ප්‍රති ආම්ලික ඖෂධ මගින්ද (ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය සඳහා නිර්දේශිත) ඇළුමිනියම් ශරීර ගත විය හැකිය. ඉඳින්, ටීවී එකේ දකින දකින, දරුවන් ඉල්ලන ඉල්ලන කෑම බීම ජාති අරන් දීම ආදරය යෑයි වරදවා තේරුම් අරන් ඉන්න වැඩිහිටියන්ගේ අවධානය, බුදුන් වහන්සේ විසින් දේශනා කොට ඇති පහත ගාථා පාඨයට යොමු කරනු වටී.


අප්පස්‌සු තායන් පුරුසෝ, බලිවද්දෝව ජිරති.
මංසානිතස්‌ස වඩ්ඩති, පඥා තස්‌ස න වඩ්ඩති. (ධර්මය නොදන්නා අඥාන බාලයෝ කා බී හරක්‌ සේ හොඳට තර වෙති. මස්‌ හොඳට වැඩුනාට ප්‍රඥාවේ වැඩීමක්‌ නැත.) 


සෙල්ලම අහිමි කළ යාන්ත්‍රික දරුවන්ගේ ලෙල්ලම.
හොඳින් කය වෙහෙසීමේදි අපගේ පෙනහැලි උපරිම ධාරිතාවයකින් පිරී යන්නේය. හදවතේ ක්‍රියාකාරිත්වය වැඩි වීම නිසාවෙන් රුධිර සංසරණය මනාව සිදු වේ. ප්‍රතිඵලය ඔබගේ මොළයට හොඳ රුධිර සහ ඔක්‌සිජන් සැපයුමක්‌ ලැබීමයි. මෙය මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමටත් මොළයේ සෑදෙන අහිතකර විෂ සංඝටක ඉක්‌මනින් බැහැර කරන්නටත් මනා පිටිවහලක්‌ වෙයි. ඉදින් මනා ව්‍යායාමයක්‌ නොමැති උදවියට වෙනත් කායික රෝගාබාධ පමණක්‌ නොව මොළයේ ආබාධ විශේෂයෙන් ළමුන්ගේ බුද්ධි මට්‌ටම අඩු වීම, (Lower IQs) වැඩිහිටියන්ට ඇල්සයිමර්ස්‌ රෝගය, ඩිමෙන්ෂියා වැනි රෝගාබාධ වැළඳෙන්නටත් හේතු වෙන බව සොයා ගෙන ඇත.


ගම්වල හැදී වැඩී වෙල් ඉපැනලිවල දුව පනිමින් ඇළේ දොළේ පිහිනමින් ජීවයෙන් පිරුණු ගහ කොළ ඵල වැලින් පෝෂණය වෙමින්, එකී ජීවයෙන් ද`ගලන නැවුම් වාතාශ්‍රයෙන් පෙනහැලි පුරවා ගෙන ජීවත්වීමේ ආනුභාවයෙන් ලද විශිෂ්ට මොළ ධාරිතාවයකින් පිරිපුන් බොහොමයක්‌ ගම් වල දරුවන් උසස්‌ විභාග සමත්ව අපේ රටේ කිසිදු විද්‍යානුකූල සැලැස්‌මකට අනුකූල නොවන ලෙස ඉදි කෙරුණු, පරිසර දූෂණයෙන් පිරිපුන්, නගර වල පැල පැදියම්ව වස විස කමින් බොමින් හුස්‌ම ගනිමින් සිටින බොහෝ දෙනෙකුගේ දෙවන තෙවන පරම්පරාවන් මුල් පරම්පරාවන් මෙන් මොළ කාරයින්, වැඩ කාරයින් (උසස්‌ විභාග පාස්‌ වූ අය නොව) නොවීමේ රහස හමුවන්නේ මෙතැනදීය. 

එහෙත් මහතුන් වෙනවාට වැඩිය හොඳයි මට බැද්දෙ බතක්‌ කර හිටියානම් කියා හිතන උදවියටද කියන්නට යමක්‌ තිබේ. එනම් නව ලිබරල් ගරිල්ලා මාකටින් ත්‍රස්‌තවාදය විසින් බැද්ද ද (ගම) සිදාදිය ද එක සේ වසෙන් විසෙන් වනසා දමා ඇති බවය.

උපුටා ගැනීම - දිවයින පුවත්පත 

Saturday, September 20, 2014

ඉක්මනට කෙට්ටු වෙන්න ආයුර්වේදයෙන් ප්‍රතිකාර

ආචාර්ය එස්.එම්.එස්. සමරකෝන්
ජේ‍යෂ්ඨ කථිකාචාර්ය
ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය
කැලණිය විශ්වවිද්‍යාලය



ස්ථුලභාවට හේතු

සහජ කරුණු වගේම වෙනත් කායික රෝග නිසාත්, සමහර රෝග සඳහා නිර්දේශිත යම් යම් ඔෟෂධ වර්ග නිසාත් යමෙකුගේ ශරීර බර වැඩිවෙන්න පුළුවන්. එහෙත් මෙහිදී අප කතාකරන්නේ එවැනි හේතුවලින් තොරව ස්ථුලභාවයට පත්වන පුද්ගලයන් පිළිබඳයි.

මේ අනුව අපට හමුවන තරබාරු සියලුදෙනාටම වාගේ බලපාන ප්‍රධාන හේතුව වන්නේ ඔවුනගේ ආහාර සමඟ ජීවන රටාව සම්බන්ධ කරුණුයි.
විශේෂයෙන්ම අධික කැලරි ප්‍රමාණයක් දෛනිකව ශරීරයට ලැබෙන තෙල් බහුල විවිධ ආහාර වර්ගත් පරිභෝජනය කිරීම ව්‍යායාමවලින් තොරව අක්‍රියශීලී දිවි පෙවෙතක් ගත කිරීම තමයි තරබාරු බවට හේතුවන එවැනි ආහාර රටාවක් අනුගමනය කරන කෙනකුගේ ශරීරයට වැඩිපුර, එනම් දිනකට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි කැලරි ප්‍රමාණයක් ලැබෙනවා පමණක් නොව, ව්‍යායාම නොකිරීම තුළින් එම වැඩිපුර කැලරි වැයවීමට තිබෙන අවස්ථාවන් අහුරනව.

එම නිසා ස්ථුල බව නැති කරගැනීමට කුමන ආකාරයක ප්‍රතිකාර ගත්තද ඒ සියලු ප්‍රතිකාර ක්‍රම එල්ල විය යුත්තේ දෛනිකව ආහාරපාන මඟින් ශරීරයට ලැබෙන කැලරි ප්‍රමාණය අඩු කිරීමත් දැනටමත් එසේ ඇති අතිරික්ක කැලරි දහනය කිරීමත් යන මූලික කරුණු දෙක කෙරෙහිය.

ලෙඩ ගොඩකට හේතුවක්
අධික තරබාරු බව බොහෝ රෝග ගණනාවකටම හේතුකාරකයකි. දියවැඩියාව, හෘද රෝග, සන්ධි රෝග ආඝාතය  අධි රුධිර පීඩනය වැනි බරපතළ රෝග ගණනාවක් ඇතිවීමේ අනාගත අවදානමක් ස්ථුල පුද්ගලයන්ට ඇතිවේ.

එපමණක් නොවේ ස්ථුල බව අකල් මරණයටද හේතුවෙන්න පුළුවන්. දෛනික කටයුතුවලට ස්ථුල බව බාධාවක් වෙනව පමණක් නොව කාන්තාවන්ගේ මඳ සරු බවට  කෙරෙහිද, ඔසප් දෝෂ  කෙරෙහිද එය හේතුවක් වෙන්න ඉඩ තිබෙනවා.
ආයුර්වේදයට අනුව ස්ථුල බව යමෙකුගේ ලිංගික ශක්‍යතාව කෙරෙහිද බලපාන බව දැක්වෙනවා. ඒ වගේම ශරීර අවයව, විශේෂයෙන්ම උදරය, තට්ටම් හා පියයුරු එල්ලා වැටෙන ස්වභාවයක් ගන්නා බවද සඳහන් වේ.

මේ නිසා ආයුර්වේදයට අනුව “ස්ථුල බවට” වඩා “කෘශ” බව හෙවත් කෙට්ටු බව සම්පතක් බව පිළිගැනීමයි.
සුථුල බව වළක්වා ගැනීම
ස්ථුල බවට ප්‍රතිකාර කරනවාට වඩා වළක්වා ගැනීම ඉතා පහසුය. අවශ්‍ය වන්නේ ස්ථුල බව නිසා ඇතිවන විපාක කෙරෙහි මොහොතක් සිතා බැලීම පමණි. තමාගේ දෛනික දිවි පෙවෙත සෞඛ්‍යවත්ව ගෙවීමට පුරුදුවීමත්, සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට පුරුදුවීමත් කළ යුතුය.

මහත අය තම බර අඩුකර ගැනීමට අවශ්‍ය නම් පහත සඳහන් දේවලින් හැකිතාක් වැළකීමට උත්සාහ කරන්න.
• පැණි රස, ඇඹුල් රස හා ලුණු රස බහුල ආහාර පාන හැකිතාක් සීමා කරගන්න.
• සිසිල් ජලය, සීත කළ බීම වර්ග, කිරි, යෝගට්, අයිස් ක්‍රීම්, කේක් වැනි ආහාර පානවලින් අෑත් වන්න.

• අලුත අස්වැන්න නෙළුෑ ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමෙන් වළකින්න.
• දවල් නිදා ගැනීම - විශේෂයෙන්ම කාන්තාවන් කෙරෙහි බලපාන මෙය ඉතා වැදගත් කාරණයක්. දිවා ආහාරයෙන් පසු, නිවෙස්වල සිටින කාන්තාවන් පැයක් දෙකක් නිදාගැනීම සිරිතක් කරගත් අය ඉන්නවා. ඒත් ඔබේ මහත අඩු කරගැනීමට අවශ්‍ය නම් එසේ කිරීමෙන් වළකින්න.

ඉක්මනින් බර අඩුකර ගැනීමට උපදෙස්
මෙම උපදෙස් ඉක්මනින් බර අඩුකර ගැනීමට අපේක්‍ෂා කරන අයට වැදගත් වේවි. මේවා අනුගමනය කිරීමෙන් ඉක්මනින් මෙන්ම ස්ථාවරව යමකුගේ බර අඩු කරගැනීමට පුළුවන්.
• උදෑසන කිරි තේ කෝපය වෙනුවට හිස් බඩ හොඳින් උණුසුම් වතුර වීදුරුවක් දිනපතා පානය කරන්න.
• පැරැණි මී පැණි (වසරකට වඩා පැරණි) තේ හැදි 02ක් පමණ උදේ හිස්බඩ මඳ රස්නය ඇති (උණුවතුර නොවේ) වතුර වීදුරුවකට මිශ්‍රකර එයටම දෙහි ඇඹුල් ස්වල්පයක් දමා බොන්න.

• ගොරක සහ සුදුලූනු සමව ගෙන තම්බා එයින් වතුර අඬු කෝප්ප භාගයක් පමණ ආහාර වේලකට පැය භාගයකට පමණ පෙර බොන්න.
• දිය නෑමට පෙර අබතෙල් ඇඟේ ආලේප කර හොඳින් සම්බාහනය කර ඉන්පසු උණුසුම් ජලයෙන් ස්නානය කරන්න. මෙසේ සතියකට දෙතුන් වරක් කරන්න.
• පැරැණි ධාන්‍ය (වසරකට වඩා පැරැණි) වලින් පිළියෙල කරන ආහාර, ඇවිදීම තිත්ත හා කහට රසැති ආහාරපාන ත්‍රිපලා, මීකිරිවලින් සාදාගන්නා “තක්‍ර”, ගුගුල්, සහ ශිලාජතු යන ඔෟෂධ වර්ගද ඉක්මණිනින් බර අඩු කරගැනීමට අවශ්‍ය විශේෂ ඔෟෂධ වේ.

ඉක්මනින් බර අඩු කරගැනීමක් සඳහා විශේෂ ඔෟෂධ
සිරුරට හානිකර නොවන පරිදි ඉක්මනින් බර අඩු කර ගැනීමට භාවිත කරන විශේෂ ඔෟෂධ කිහිපයක් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී භාවිත කරනව. එහෙත් මේවා මනා සුපරීක්‍ෂණයක් සහිතව භාවිත කළයුතු අතර වෛද්‍ය උපදෙස් පිළිපැදිය යුතුය.

• ශුද්ධ ශිලාජතු සමඟ හීන් මිදි මුල් කසාය සමඟ
• අමෘතාදී ගුගුල් ත්‍රිපලා කසාය සමඟ
• ආරෝග්‍ය වර්ධන වටී මහා මංෂ්ඨාදී කසාය සමඟ
• බෙහෙත් එරඬු කොළ පිලිස්සූ භෂ්ම පෙරුම්කායම් සමඟ
• පංචකර්ම ප්‍රතිකාරවල සඳහන් ලේඛන වස්ති කර්ම

මෙහි සඳහන් කළ ප්‍රතිකාර ක්‍රම ක්‍රමානුකූලව යෙදීමෙන් මෙන්ම තවත් එවැනි සාර්ථක ප්‍රතිකාර ක්‍රම ක්‍රමානුකූලව යෙදීමෙන් මෙන්ම තවත් එවැනි සාර්ථක ප්‍රතිකාරවලින් ස්ථුලතාව ඉක්මනින් අඩුකර ගැනීමට හැකිය.


Published in Mawbima newspaperon 16-12-2013
http://www.mawbima.lk/81-44675-news-detail.html

Friday, September 5, 2014

මුත්‍රාශ ගල් දියකර හැරීමට ඖෂධ නෑ

කොළඹ ජාතික රෝහලේ

මෞත්‍ර ලිංගික රෝගාබාධ පිළිබඳ
විශේෂඥ ශල්‍ය වෛද්‍ය
මහාචාර්ය නෙවිල් ඩී. පෙරේරා
 

මුත්‍රා හිරකරගෙන ඉන්න එපා


මුත්‍රා කිරීමේ අවශ්‍යතාව දැනුණු වහාම මුත්‍රා පිට කිරීම මෞත්‍ර ලිංගික පද්ධතිය ආශි‍්‍රතව ඇති විය හැකි රෝගවලින් මිදීමට ඇති ඉතා වැදගත් පිළිවෙතකි.

බොහෝ වේලාවක් මුත්‍රා පිට නොකොට මුත්‍රාශයේ මුත්‍ර තද කරගෙන සිටීම රෝග ගණනාවකටම අත වැනීමකි. එසේ මුත්‍රා මුත්‍රාශය තුළ සිරකරගෙන සිටින විට මුත්‍රාශයේ පේෂිවල ඇදීමක් සිදුවී එම පේෂි දුර්වලවේ. පසුකාලීනව මුත්‍රා කිරීමට අපහසුතා ඇතිවීමට එය ප්‍රබල හේතුවකි. විවිධ හේතූන් නිසා කාන්තාවන් පැය ගණන් මුත්‍රා නොකොට මුත්‍රා සිර කරගෙන සිටින අවස්ථාවන් ඇත. කාන්තාවන් අතර මුත්‍රා ආසාදන වැඩි වීමට එයද එක් හේතුවකි. අඩුම තරමින් පැය 4 කට හෝ 5 කට වරක් මුත්‍රා පිට කිරීම වැදගත්ය.

මුත්‍රා ආසාදන, මුත්‍රාශයේ ඇතිවන ගල්, වකුගඩු ආබාධ, පිරිමින්ගේ පුරස්ථ ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන ආබාධ ආදිය මෞත්‍ර ලිංගික පද්ධතිය හා සම්බන්ධ රෝගාබාධ ලෙස සැලකේ.
මෞත්‍ර ලිංගික පද්ධතිය ලෙස හැඳින්වෙන්නේ වකුගඩු, මුත්‍රාශය, මුත්‍ර මාර්ගය ඇතුළත් අවයව පද්ධතියටය. මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ඉහත ආබාධ ඉතා වේදනාකාරී ය.

මෞත්‍ර ලිංගික පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝගාබාධ පිළිබඳව කතා කිරීමේදී හඳුනාගැනීමේ පහසුව සඳහා එම රෝගාබාධ ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැකි ය. ඒ වෛද්‍යමය රෝග සහ ශල්‍යමය රෝග ලෙස ය.

වෛද්‍යමය රෝග ලෙස හැඳින්වෙන්නේ ඖෂධීය ප්‍රතිකාර මගින් සුව කළ හැකි රෝගාබාධ ය. ශල්‍යමය රෝග වලින් මිදීම සඳහා ශල්‍යකර්ම සිදු කළ යුතුවේ. වකුගඩු අකර්මණ්‍ය වීම වෛද්‍යමය රෝග අතරට ගැනෙන එක් රෝගාබාධයකි. වකුගඩු අකර්මණ්‍යවීම හදිසියේ ඇතිවන වකුගඩු අකර්මණ්‍යතාවය සහ දීර්ඝකාලීනව සිදුවන වකුගඩු අකර්මණ්‍යතාව ලෙස දෙකොටසකි. දීර්ඝකාලීන වකුගඩු අකර්මණ්‍යතාවයට හේතු වන්නේ දියවැඩියාව සහ අධිරුධිර පීඩනය නිවැරදි ලෙස පාලනය නොකිරීම ය. ඊට අමතරව මුත්‍රාශය ආශ්‍රිතව ඇතිවන ආසාදන නොසළකා හැරීම ද දීර්ඝකාලීන වකුගඩු අකර්මණ්‍යතාවයට හේතුවකි.

හදිසි වකුගඩු අකර්මණ්‍යතාවයට බොහෝ විට හේතු වන්නේ යම් යම් ඖෂධ වර්ග විෂවීම විවිධ විෂ වර්ග ශරීරගතවීම සර්ප විෂ ශරීරගත වීම, ආහාර විෂ වීම වැනි හේතු ය. හදිසි වකුගඩු අකර්මණ්‍යතාවට ප්‍රතිකාර කළ යුත්තේ ඖෂධ භාවිතා කිරීමෙනි. එසේ නොවුණහොත් කළ යුතු වන්නේ රුධිරය පිරිසිදු කරන යන්ත්‍රයක් මගින් රුධිරය පිරිසිදු කිරීම ය.

වකුගඩු ආශ්‍රිතව සිදු කෙරෙන ශල්‍යකර්ම වලින් බහුලවම සිදු කෙරෙන්නේ වකුගඩුවල ඇති ගල් ඉවත් කිරීමේ සැත්කම ය. මුත්‍රාශයේ හෝ වකුගඩුවල ඇති ගල් නිර්මාණය වන්නේ එම ඉන්ද්‍රියන් තුළම ය. කැල්සියම් ඔක්සලේට් නම් රසායනික ද්‍රව්‍ය එම ගල් නිර්මාණය වීමට හේතු වේ. ඊට අමතරව කැල්සියම් කාබනේට්, යූරික් ඇසිඩ් නිසා ද වකුගඩුවේ සහ මුත්‍රාශයේ ගල් ඇති වේ. කැල්සියම් ඔක්සලේට් රසායනිකය නිසා මුත්‍රාශය සහ වකුගඩු ආශ්‍රිතව ගල් නිර්මාණය වීමට හේතු කීපයක් ම බලපාන බව පැහැදිලි ය. කැල්සියම් ඔක්සලේට් ස්ඵටික මුත්‍රාවල පැවතීම සාමාන්‍ය අප ගන්නා ජලය ප්‍රමාණය මද වුවහොත් ස්ඵටික වකුගඩු වල තැන්පත්වේ.

හොඳින් මුත්‍රා පිට නොවීමට මුත්‍රාශයේ සහ වකුගඩුවල ගල් ඇති වීම ප්‍රධාන හේතුවකි. ඉහත දැක්වූ ආකාරයට ගල් ඇති වන්නේ ස්ඵටික ආකාරයෙනි. මුත්‍රා පිට කරන විට එම ස්ඵටික පිට වුවහොත් මුත්‍රාශය තුළ ගල් ඇති නොවේ. වකුගඩු තුළ නාල අවහිරවීම වැනි හේතුවක් නිසා එම ස්ඵටික වකුගඩුව තුළ තැන්පත් වුවහොත් එය වර්ධනය වී ගල් ඇතිවේ.
වකුගඩු වල සහ මුත්‍රාශයේ ගල් ඇතිවීම විශේෂයෙන් සොයා බලා ප්‍රතිකාර ලබාගත යුතු ය. ඒ; මුත්‍රාශයේ හෝ වකුගඩුවල ගල් ඇතිවීම වකුගඩු අකර්මණ්‍යවීමට ප්‍රධානම හේතුවක් වන නිසා ය. එසේ ම වකුගඩුවක් තුළ නිර්මාණය වූ ගලක් වකුගඩුවේ සිට මුත්‍රවාහිනී ඔස්සේ එළියට පැමිණෙන විට අධික වේදනාවක් ඇතිවීම ය. ඇතැමුන් පවසන්නේ මෙහිදී ඇතිවන වේදනාව දෙවැනි වන්නේ කාන්තාවකට දරු ප්‍රසූතියේදී ඇතිවන වේදනාවට පමණක් බව ය.

එහිදී ඇතිවන වේදනාව ඉඟටිය ප්‍රදේශයෙන් ආරම්භ වී ගල ගමන් කිරීමත් සමඟම මුත්‍රාශය දෙසට ගමන් කරයි. එවැනි අවස්ථාවක මුත්‍රා සමඟ රුධිරය පිටවීමක් ද සිදුවිය හැකිය. එයට හේතු වන්නේ ගල මුත්‍රාමාර්ගය දිගේ පහළට ඒමේදී එහි බිත්ති සීරීමය.
ඇතැම් විටෙක වකුගඩු දෙකෙහිම ගල් නිර්මාණය වී තිබුණහොත් වකුගඩුවල නාළ දෙකම අවහිර වී හදිසි වකුගඩු අකර්මණ්‍ය තාවයක් විය හැකි ය. වකුගඩුවෙන් මුත්‍රාශයට එන නාළවල දීර්ඝ කාලයක් තිස්සේ ගලක් සිරවී තිබීම වකුගඩු අකර්මණ්‍ය වීමට හේතු විය හැකි ය. මුත්‍රාශයේ සහ වකුගඩුවල ගල් ඇත්නම් ඒ සඳහා වහා ප්‍රතිකාර ගත යුත්තේ මෙම හේතු නිසා ය.

මුත්‍රාශයේ ඇතිවන ගල් ඉවත් කිරීම සඳහා ඖෂධ භාවිතාවේ. මෙහිදී සිදුවන්නේ මුත්‍ර නාළ විශාල කොට ගල පිටතට ඒමට සැලැස්වීම ය. එසේ නැතිව මුත්‍රාශයේ ගල් දිය කර හැරීමට බටහිර වෛද්‍ය විද්‍යාවේ මෙතෙක් ඖෂධ සොයාගෙන නැත.
එලෙස මුත්‍රාශයේ ගල් ඉවත් කළ ද වකුගඩුවල තිබෙන ගල් එසේ ඉවත් කළ නොහැකි ය. එහිදී ශල්‍ය කර්මයක් සිදු කළ යුතුවෙයි. විශාල කැපුමක් සිදු නොකොට මුත්‍රා මාර්ගය දිගේ වකුගඩුව වෙත අතිනවීන උපකරණ යවා වකුගඩුවේ ඇති ගල් කැබළි වලට කුඩු කර වකුගඩුවේ ඇති ගල ඉවත් කිරීමේ හැකියාව ඇත. ඇතැම් විටක සුළු හෝ කැපීමක් සිදු නොකොට වුව ද වකුගඩුවේ ගල ඉවත් කිරීමේ හැකියාව ඇත. එලෙස ඉවතට ගත නොහැකි ගල් ඉවත් කිරීම සඳහා ඉඟටිය ප්‍රදේශයේ කුඩා සිදුරක් ඇති කර ඒ තුළින් නවීන උපකරණ වකුගඩුව තුළට හෝ මුත්‍රාශය තුළට යවා ගල ඉවත් කිරීමේ හැකියාව ඇත.

බොහෝ දෙනෙක් මෞත්‍රලිංගික පද්ධතිය ආශ්‍රිතව මුහුණදෙන රෝගාබාධයක් ලෙස මුත්‍රා දැවිල්ල හැඳින්විය හැකි ය. මෙය ඉතා අසහනකාරී සහ වේදනාකාරී රෝග තත්ත්වයකි. ‘මුත්‍රා දැවිල්ල ඇතිවීමට හේතු කීපයක්ම බලපායි. ඉන් ප්‍රධානම හේතුව වන්නේ මුත්‍ර මාර්ගයේ ඇතිවන ආසාදනයි. එවැනි ආසාදනයක් ඇති වූ විට මුත්‍රා පිටවෙන වාරයක් පාසා තුවාලයක් පෑරෙන්නාක් මෙන් එම ආසාදන තත්ත්වය උත්සන්න වේ.

ඊට අමතරව වැඩිහිටි පුද්ගලයන්ගේ සහ විශේෂයෙන්ම කාන්තාවන්ගේ මුත්‍රා දැවිල්ල ඇතිවීමට බලපෑ හැකි තවත් හේතුවක් හඳුනාගත හැකිය. ඒ මුත්‍රාවල අම්ල ප්‍රමාණය අධික වීමය. එවන් අවස්ථාවකදී මුත්‍රා මාර්ගයේ කිසිඳු ආබාධයක් නැතිව වුවද අධික මුත්‍රා දැවිල්ලක් ඇතිවීමේ හැකියාව ඇත. නිතර නිතර දීර්ඝ කාලයක් තිස්සේ පවතින මුත්‍රා දැවිල්ල පරීක්ෂාවට ලක්කළ යුතු තත්ත්වයකි. පළමුව එහිදී මුත්‍රා මාර්ගයේ කිසියම් අවහිරතාවයක් ඇතිදැයි සොයා බැලිය යුතුය. එවැනි අවහිරතාවයක් නැති නම් මුත්‍රාවල අම්ල ප්‍රමාණය අඩු කිරීමට ඖෂධ ලබා දේ.

පිරිමින්ට වඩා කාන්තාවන්ගේ මුත්‍රා ආසාදන සහ මුත්‍රා දැවිල්ල ඇතිවීමේ හැකියාව වැඩිය. කාන්තාවන්ගේ මුත්‍ර මාර්ගය කෙටි වීම එයට හේතුවය. එවිට විෂබීජ මුත්‍ර මාර්ගය දිගේ මුත්‍රාශය දෙසට ගමන් කිරීමේ හැකියාව වැඩිය. එමෙන්ම අලුත විවාහ වූ කාන්තාවන්ට මුත්‍රා ආසාදන ඇතිවීමේ හැකියාවක් ද ඇත. එය සාමාන්‍ය තත්ත්වයකි.

මුත්‍රා සමඟ රුධිරය පිටවීම දැඩිව අවධානය යොමු කළ යුතු තත්ත්වයකි. වයස අවුරුදු 45 ඉක්මවූ අයකුගේ මුත්‍රා සමඟ රුධිරය පිට වුවහොත්, මුත්‍ර මාර්ගය ආශි‍්‍රතව පිළිකා තත්ත්වයක් නැතැයි තහවුරු වනතෙක් අවශ්‍ය පරීක්‍ෂණ සිදු කළ යුතුය. වේදනාවක් ඇතිව හෝ නැතිව වුවද මුත්‍රා තද පැහැයෙන් පිටවීම වෛද්‍ය උපදෙස් පැතීමට හේතුවකි.

පුරුෂයන්ගේ පුරස්ථ ග්‍රන්ථිය ආශි‍්‍රතව ඇතිවන ආබාධ මෞත්‍ර ලිංගික පද්ධතිය ආශි‍්‍රතව ඇතිවන ආබාධ අතර ප්‍රධාන තැනක් ගනී. පුරස්ථ ග්‍රන්ථිය ලෙස හැඳින්වෙන්නේ ශුක්‍රානු නිපදවන ග්‍රන්ථියයි. එම ග්‍රන්ථිය මුත්‍රාශයට පහළින් පිහිටා ඇත. මුත්‍රා ගමන් කරන මුත්‍ර නාළය පිහිටන්නේ ඉහත ග්‍රන්ථිය මැදය. කිසිඳු හේතුවක් නැතිව වුවද වයස අවුරුදු 45, 50 ඉක්මවූ පුරුෂයන්ගේ පුරස්ථ ග්‍රන්ථිය ආශි‍්‍රත පටක වැඩී, ඉදිමීමට පටන් ගනී. මුත්‍රා ගමන් කරන මාර්ගය මේ ග්‍රන්ථිය මැද පිහිටා තිබෙන නිසා පුරස්ථ ග්‍රන්ථිය ඉදිමී පටක ඉදිමීම නිසා මුත්‍ර නාළයේ සිරවීමක් සිදු විය හැකිය. එහි ප්‍රතිඵලය මුත්‍ර පහකරීමට අපහසු වීමය.

එහිදී මතුවන රෝග ලක්ෂණ ගණනාවක්ම දැකගත හැකිය. මුත්‍රා සෙමෙන් යාම, කඩින් කඩ යාම, බිංදු ලෙස යාම, දිනකට දහ දොළොස් වරකට වඩා මුත්‍රා පහවීම, මුත්‍රා පහර ඉදිරියට විදීමේ අපහසුව යන රෝග ලක්ෂණ මෙහිදී මතුවේ. වයසත් සමඟ ඇතිවන මේ රෝගයට අමතරව ඉතාම සුළු පිරිසකට පුරස්ථ ග්‍රන්ථියේ ඇතිවන පිළිකාවක් නිසාද ඉහත රෝග ලක්‍ෂණයම ඇතිවනු දැකගත හැකිය.
රාත්‍රියේදී කීප වරක් මුත්‍රාපිට කිරීමට සිදුවීම ඇතැමුන් මුහුණ දෙන තවත් ප්‍රධාන ගැටලුවකි. රාත්‍රියේදී එක්වරක් පමණක් මුත්‍රා පිට කිරීමට සිදුවීම රෝගයක් හෝ රෝග ලක්ෂණයක් හෝ නොවේ. එහෙත් රාත්‍රිය පුරා කීප වරක් වරින්වර මුත්‍රා පිට කිරීමට සිදුවීම රෝග ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. යමෙකු රාත්‍රියේදී නින්දට යාමට පෙර මුත්‍රාශය සම්පූර්ණයෙන්ම හිස්කොට නින්දට යන්නේ නම් ඇතැම්විට එම ගැටලුව මතු නොවේ. රාත්‍රිය පුරා කීප වරක් මුත්‍රා කිරීමට සිදුවීම පුරස්ථ ග්‍රන්ථියේ ආබාධයක ලක්ෂණයක් විය හැකිය. පුරස්ථ ග්‍රන්ථියේ ආබාධයක් ඇති විට මුත්‍රාශය හිස් කිරීමේ හැකියාව දුර්වල වීම එයට හේතුවය.

නිරෝගී පුද්ගලයකුගේ ශරීරයේ රාත්‍රියේදී මුත්‍රා නිපදවෙන්නේ ඉතා අඩුවෙනි. එහෙත් දියවැඩියාව, හෘදරෝග වැනි ආබාධවලින් පෙළෙන්නන් තුළ රාත්‍රියේදී අධික ලෙස මුත්‍රා නිපදවේ. ඔවුන් ද රාත්‍රියේදී කීපවරක් මුත්‍රා පිට වීමද සාමාන්‍ය තත්ත්වයකි. එයට හේතුව වන්නේ දියවැඩියාවට සහ හෘද රෝගවලට දෙනු ලබන ඇතැම් ඖෂධ මුත්‍ර නිපදවීමේ ගුණයෙන් යුතු වීමය.

වතුර වැඩිපුර බීමත් ලෙඩක්

මෞත්‍ර ලිංගික පද්ධතිය ආශි‍්‍රත රෝගවලින් මිදීමට අවශ්‍ය පමණට ජලය පානය කිරීම ඉතා වැදගත්. වැඩිහිටියකු දිනකට ලීටර් 2 – 2 1/2 අතර ප්‍රමාණයක් ජලය පානය කිරීම වැදගත්ය. ජලය පානය කිරීම පිළිබඳවද විවිධ මත ඇත. ඇතැම් අය දිනකට ලීටර් 4 – 5 පමණ ප්‍රමාණයක් ජලය පානය කිරීමට පෙළඹී සිටිති. එය නුසුදුසුය.

නව පර්යේෂණ මඟින් පෙන්වා දී ඇත්තේ දිනකට ජලය ලීටර් 3 කට වැඩියෙන් පානය කිරීම වකුගඩු සහ මුත්‍රාශය ආශි‍්‍රතව ගල් නිර්මාණය වීමට හේතුවන බවය. සාමාන්‍යයෙන් මුත්‍රාවල මුත්‍රාගල් නිපදවීම වැළැක්වීමේ හැකියාව ඇති රසායනිකයක් ඇත.
අවශ්‍ය පමණට වඩා ජලය පානය කළ විට එම රසායනිකය තනුක වී මුත්‍රාශය ආශි‍්‍රත ගල් නිපදවීමේ හැකියාව වැඩි වෙයි. ඒ නිසා වැඩිහිටියකු දිනකට ජලය ලීටර් 3 කට වැඩියෙන් පානය කිරීම සුදුසු නැත. දරුවකු නම් දිනකට ලීටර් 1 – 1 1/2 අතර ප්‍රමාණයක් පානය කිරීම ප්‍රමාණවත්ය.


Published in Silumina on 24-07-2011
http://www.silumina.lk/2011/07/24/_art.asp?fn=am1107243

අරක්‌කු රටත් සමාජයත් ලෙඩකරන හැටි

මත්පැන් පිළිබඳව සමාජය තුළ ඇති මතයන් විවිධාකාරය. යම් පිරිසකට මත්පැන් යනු ජීවිතයේ වටිනාම සම්පතය. දුවා දරුවන් පවා මත්පැන් තරම් ඔවුනට වටින්නේ නැත.

සමාජයේ මත්පැන් භාවිතයද විවිධාකාරය. සමහරක්‌ උදැසන කටහොදන්නේද මත්පැන් වලිනි. සමහරකුට මත්පැන් කල්කදුරු තරම් තිත්තය. ඕනෑම සමාජ නියෑඳියක මෙන් මෙම දෙකොටසටම අයත්වන්නෙ සුළුතරයකටය. සමජයේ බහුතරයක්‌ මෙම දෙකොටසටම අයත් නොවේ. ආකල්පමය අතින් සමාජයේ අතිබහුතරයක්‌ මද්‍යසාර කෙරෙහි දක්‌වන්නේ උදාසීන මතයකි. ඔවුනට මද්‍යසාර යනු තවත් එක්‌ පාරිභෝගික ද්‍රව්‍යයක්‌ පමණි. එය තමන්ගේ යහපැවැත්මට වින කරන බවට හැඟීමක්‌ ඔවුනට නැත.

ශ්‍රී ලංකාවේ මත්පැන් භාවිත කරන්නේ 15% පමණ සුළුතරයකි. ඔවුන්ගෙන් බහුතරයක්‌ද මත්පැන් භාවිත කරන්නේ විශේෂ අවස්‌ථාවකදී පමණි. ආකල්පමය අතින් මද්‍යසාර ගැන උදාසීන ප්‍රතිපත්තියක්‌ දරන්නන් හා විශේෂ අවස්‌ථාවලදී පමණක්‌ මත්පැන් භාවිත කරන්නන් ශ්‍රී ලංකාවේ සම්පූර්ණ මත්පැන් පරිභෝජනයට ඇතිකරන බලපෑම ගැන සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි.

මත්පැන් පොදුවේ ශ්‍රී ලාංකික සමාජයේ හෝ විශේෂයෙන්ම සිංහල සමාජයේ දියුණුවට ඇති ප්‍රධානතම අභියෝගයයි. ශ්‍රී ලංකාවේ මත්පැන් වඩා ප්‍රචලිතව ඇත්තේ සිංහල හා දෙමළ ප්‍රජාව අතරය. විද්වතුන්ට අනුව වසරකට ලංකාවේ මරණ 20000 කට පමණ මත්පැන් හේතුවෙයි. අක්‌මාගත සිරෝසීස්‌ රෝගය නිසා ඇතිවන මරණ ඉහළින්ම වාර්තාවන රටකි ශ්‍රී ලංකාව. රිය අනතුරු, පිළිකා හා සියදිවි නසාගැනීම නිසා ඇතිවන මරණ සෑහෙන ප්‍රතිශතයකටද මද්‍යසාර සෘජුව හෝ වක්‍රාකාරව හේතුවෙයි. යුද්ධය නිසා හෝ ඩෙංගු නිසා හෝ සිදු වූ මරණ ගණනට වඩා වැඩි මරණ ප්‍රමාණයක්‌ මත්පැන් නිසා සිදුවී ඇත.

විශේෂයෙන්ම සිංහල/දෙමළ සමාජයේ දුප්පත්කමට මත්පැන් දායක වේ. දිස්‌ත්‍රික්‌ක දෙකක දුප්පත් පවුල් අතර කරන ලද සමීක්‍ෂණයකට අනුව එම පවුල්වල පිරිමියා සිගරට්‌/මත්පැන්වලට ඇබ්බැහි වී ඇතිනම් පවුලේ මාසික ආදායමෙන් 40% ක්‌ ඒ සඳහා වැයවන බව සොයාගෙන ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රධාන මත්පැන් නිෂ්පාදන සමාගමක 2012 දළ වාර්ෂික ආදායම රු, 63,000,000,000/- ලෙස වර්තාවන අතර, මෙම මුදල ශ්‍රී ලාංකිකයන් වසරකට මත්පැන් සඳහා වැයකළ මුදලින් කොටසක්‌ පමණක්‌ වනු ඇත.

මත්පැන් හා ප්‍රචන්ඩත්වය අතරද අවාසනාවන්ත සම්බන්ධයක්‌ පවතී. මත්පැන් භාවිත කළ පුද්ගලයකුට ප්‍රචන්ඩ ලෙස හැසිරීමට, සමාජය ලබාදී ඇති වරප්‍රසාදය මෙයට හේතුවයි. ශ්‍රී ලංකාව තුළ භාර්යාවන්ගෙන් 30% පමණ ස්‌වාමි පුරුෂයාගේ කායික තාඩන පීඩනවලට ලක්‌වේ. මෙම පවුල්වලින් සැලකිය යුතු කොටසක ස්‌වාමි පුරුෂයන්, මත්පැන් ප්‍රචන්ඩත්වයට නිදහසට කාරණාවක්‌ කරගනී.

ඉහත දත්තවලට අනුව ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ආර්ථිකමය හා සෞඛ්‍යමය පසුබෑමට මෙන්ම, පවුලේ සතුට නැතිවීමටද ප්‍රධාන හේතුවක්‌ ලෙස මත්පැන් භාවිතය හේතුවන බව පැහැදිලිය.

එහෙත් පොදු සමාජය තුළ ඩෙංගු විරෝධී, කිරිපිටි විරෝධී, දූෂණ විරෝධී කතිකාවත් බොහෝ ඇතත් මත්පැන් විරෝධී කතිකාවතක්‌ ගොඩ නොනැගෙන්නේ ඇයි? මත්පැන් භාවිත නොකරන්නන් හා විශේෂ අවස්‌ථාවල පමණක්‌ මත්පැන් භාවිත කරන්නන්ගේ උදාසීනත්වය. බියගුලුකම, උඩඟුකම හෝ නොදැනුවත්කම නිසාය. ශ්‍රී ලංකාව තුළ මත්පැන් නිසා සිදුවන හානියට සෘජුව බලපාන්නේ නිද්‍රdශීලී පිළිවෙතය.

ගමක මරණාධාර රැස්‌වීමක වේවා නගරයේ විධායක නිලධාරීන්ගේ එකමුතුවකදී හෝ වේවා දූෂණය, කිරිපිටි ආදිය ගැන වේවා කෙනෙක්‌ කතා කළත්, මත්පැන් නිසාවන හානිය ගැන කතා කිරීමට කෙනෙකු ඉදිරිපත්වන්නේ කලාතුරකිනි. මෙම රැස්‌වීමක බහුතරය මත්පැනට ලොල්වූවන් නොවනු ඇත. එමනිසා තනිපුද්ගලයකු හෝ රැස්‌වීමේ සාමාන්‍ය කතාබහට මත්පැන් නිසා වන හානිය ගැන කතිකාවතක්‌ එකතු කළහොත්, නොදැනුවත්වම එම කුඩා සමාජය තුළ මත්පැන් නිසා වන හානිය අඩුවනු ඇත.

ඔබ ප්‍රිය සම්භාෂණයක්‌ හෝ මිතුරු හමුවක්‌ සංවිධානය කරන්නේ නම්, තනි පුද්ගලයකු හෝ කිහිදෙනකු එය මත්පැන් හමුවක්‌ බවට පත්කිරීමට දරන උත්සාහය ඔබට වැළැක්‌විය හැක. මංගල සාදයකදී මෙය වඩා වැදගත්ය. උත්සවයට සහභාගිවන්නන්ගේ බහුතරයක්‌ මැත්පැන් භාවිත නොකරන නිසා, බහුතරයකගේ සතුටට මද්‍යසාර නැතිවීම හේතුවනු ඇත. නමුත් මෙහිදී මද්‍යසාරවලට ලොල් වූ කිහිපදෙනකුගේ රැවුම් ගැරහුම් හෝ ආයාචනා ඉදිරියේ නොසැලී සිටීමට තරම් ඔබ සෘජු විය යුතුයි.

ඔබේ ගමේ පිරිමින් කිහිපදෙනකු මත්පැන් භාවිතකර ගේදොර තුළ අඩදබර කරන්නේ නම් ඔබ නිහඬව සිටිය යුතුද? ගමේ එසේ නොකරන බහුතරය ඊට විරුද්ධ කතිකාවතක්‌ ගම තුළ ඇතිකරන්නේ නම් ඔබේ ගම වඩා සුන්දර තැනක්‌ වනු ඇත. එසේම ඔබේ දරුවන්ගේ යහවර්ධනයට වඩා හොඳ පරිසරයක්‌ ගම තුළ ඇතිවනු ඇත.

මාධ්‍යයන් හරහා යම්කෙනෙකු මද්‍යසාර වර්ණනා කරන්නේ නම් සැබෑ මාධ්‍යකරුවෙකුගේ වගකීම ඊට එරෙහිවීමයි. සැබෑ සුන්දර මාධ්‍යකරුවකුගේ යුතුකම වන්නේ තම පාඨකයන්ගේ ජීවිත වඩා සුන්දර කිරීම නොවේද? 70-80 දශකයේ අපට සිටි වටිනාම කලාකරුවන් කිහිපදෙනකු අපට අහිමිකළේ යුද්ධය නොව මත්පැන් ය. පාසලේ ක්‍රීඩා උළෙලකදී හෝ පාසලේ මහා ක්‍රිකට්‌ ගැටුමකදී හෝ ගුරුවරයකු, ආදි ශිෂ්‍යයකු හෝ ප්‍රභූවරයකු හෝ මත්පැන් පානය කරයි නම්, එය දකින ශිෂ්‍යයන්ද මත්පැන් පානයට යොමුවනු ඇත. එසේ යොමුවන දරුවන්ගෙන් කොටසක්‌ මත්පැන් නිසා ජීවිතය වනසාගනු ඇත. මෙම කටුක සත්‍යය ගැන කතිකාවතක්‌ ගුරු ප්‍රජාව තුළ හා ආදි ශිෂ්‍ය සංගමය තුළ ඇතිවන්නේ නම් ශිෂ්‍යයන්ගේ පොදු අනාගත දියුණුවට එය හේතුවනු ඇත.

ඉහත දැක්‌වූ උදාහරණවලට අමතරව මද්‍යසාර භාවිත නොකරන්නන් හා විශේෂ අවස්‌ථාවල පමණක්‌ මත්පැන් භාවිත කරන්නන්, ශ්‍රී ලංකාව තුළ මත්පැන් නිසා වන හානියට දායකවන ආකාරය බොහෝය. ඔබත් එවැනි පුද්ගලයකු නම් ඔබට සමාජ සංවර්ධනයට දායක විය හැකි පහසු මගක්‌ ඇත. එනම් ඔබේ වටපිටාව තුළ මද්‍යසාර නිසා වන හානිය හඳුනාගැනීම හා ඊට විරුද්ධ කතිකාවක්‌ ආරම්භ කිරීමය.

මනෝ වෛද්‍ය ප්‍රභාත් වික්‍රම

Published in Divaina on 06-10-2013
http://www.divaina.com/2013/10/06/feature09.html

තරබාරුව මට්ටු කරන ‘ජල චිකිත්සාව’ Hydrotherapy

රෝගාබාධවලින් වැළකී නීරෝගී ජීවිතයක් ගෙවන්නේ කෙසේද? රෝගාබාධ වැළැඳුණහොත් ඒ සඳහා කළ යුත්තේ මොනවාද? යන කරුණු පිළිබඳව අප ‘සුවමඟ’ මඟින් ඔබව සතිපතා දැනුම්වත් කරනවා.


අද අප ඔබව දැනුම්වත් කරන්නේ නීරෝගීව සුවෙන් සිටීමට උපයොගී කරගත හැකි ජල චිකිත්සාව (Hydrotherapy හයිඩ්‍රොතෙරපි) නම් ප්‍රතිකාර ක්‍රමය පිළිබඳවයි. දැන් මෙම ප්‍රතිකාර ක්‍රමය ලොව පුරා ඉතා ප්‍රචලිත ප්‍රතිකාර ක්‍රමයක් වුවත් ශ්‍රී ලංකාවට මෙය තවමත් ආධුනිකයි.
එහෙත් මෙම ප්‍රතිකාර ක්‍රමයේ මූලධර්මය ගහකොළ සෙවණේ හැදුණු වැඩුණු ඇළේ දොළේ පැන නාන ශ්‍රී ලාංකිකයින් බහුතරයකට ඉතාම සමීපයි.
අමිතා විජයපාල
Hydrotherapist
අපේ පැරැන්නන් ඉතාම නීරෝගීව සිටි බවත් ඔවුන් දියවැඩියාව, අධි රුධිර පීඩනය, ආතරයිටීස් වැනි වර්තමානයේ ඉතා බහුල රෝගාබාධ නොතිබුණු බවත් බොහෝ විට බොහෝ තැන කියැවෙනවා.
එමෙන්ම අතිධාවනකාරී ජීවන රටාවකට පුරුදු වර්තමානයේ බොහෝ දෙනෙකුට විවිධ රෝගාබාධ වැළඳී ඇති බවත් කියැවෙනවා. මෙය සත්‍ය කරුණක්. කය වෙහෙසා වැඩ කළ අපේ රටේ මිනිසුන් වැඩ කිරීමෙන් අනතුරුව ගඟේ ඇළේ දොළේ බැස දිය නෑමෙන් පසුව පිරිසිදු ආහාර වේලක් ගනු ලැබුවා.
මෙයයි ඔවුන් නිරෝගීව සිටීමට හේතුව. ගලා යන දිය පහරකින් ස්නානය කරන විට ශරීරයට දැනෙන සනීපය, එම ජලපහර මෙන්ම දිය බුබුළු ද ශරීරයේ ගැටීම නිසා ශරීරයට ලැබෙන සම්බාහනය නිරෝගී ජීවිතයකට ඉතාම ප්‍රයෝජනවත් වූ බව දැන් හෙළිවී තිබෙනවා.
එය ශරීරයට ලබාදෙන සත්කාරයක් වැනියි. ඇළේ දොළේ බැස ස්නානය කිරීමේ අවස්ථාව නොමැති වර්තමානයේ ජීවත්වන අයට දැන් එම සත්කාරය කෘත්‍රිමව ලබාගැනීමේ අවස්ථාව උදාවෙලා තිබෙනවා.
ඒ; ජල චිකිත්සාව (Hydrotherapy) මඟින්. අද ‘සුවමඟ’ සඳහා ජල චිකිත්සාව පිළිබඳව අදහස් දක්වන්නේ වෘත්තීය ජලචිකිත්සකවරියක වන මිරිහාන අංක 35ඛ්, අමාෂා හයිඩ්‍රොතෙරපි ආයතනයේ අමිතා විජයපාල මහත්මියයි.


ජලචිකිත්සාව (Hydrotherapy -හයිඩ්‍රොතෙරපි) යනු කුමක්ද?
ජල චිකිත්සාව යනු ජලය මඟින් කරනු ලබන ප්‍රතිකාර ක්‍රමයක්. මෙහිදී නවීන තාක්ෂණික උපකරණ කීපයක් යොදා ගන්නවා. උණුසුම් ජලය පිරුණු බේසමක්, ජල බුබුළු ඇතිකරවන යන්ත්‍රයක්, විවිධ වර්ගයේ ස්වභාවික ගල් අල්ලා සකසන ලද ප්ලාස්ටික් පලසක්. එම උපකරණ කට්ටලයට අයත්. එම පලස අතුරා තිබෙන්නේ ජල බේසම පතුලේ.
ප්‍රතිකාරය ලබාගන්නා තැනැත්තා හිඳගන්නේ එම පලස මතයි. ජල චිකිත්සාව හෙවත් හයිඩ්‍රොතෙරපි ප්‍රතිකාරය භෞත චිකිත්සාව වැනි චිකිත්සක ප්‍රතිකාර ක්‍රමයක්. යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට පෙර ජල බේසමේ ඇති උණුසුම් ජලයට විවිධ ඖෂධීය තෙල් වර්ග එක්කරනවා.
ප්‍රතිකාරය ලබන තැනැත්තා පෙළෙන ආබාධය අනුව, ඔහුගේ හෝ ඇයගේ ශරීරයේ ස්වභාවය අනුව යොදාගන්නා ඖෂධීය තෙල් වර්ගය වෙනස් වෙනවා. නියම අයුරින් ප්‍රතිඵලය ලැබීමට ජල බේසම තුළ ඉරියව් 6කින් සිටිය යුතුයි.
මෙම ප්‍රතිකාරයට හුරුවන තෙක් විනාඩි 20ක් පමණ ප්‍රතිකාර ගැනීම ප්‍රමාණවත්. ඔහු එක ඉරියව්වක විනාඩි 3ක් පමණ සිටිය යුතුයි. එම ඉරියව්වල සිටින විට වේගවත් උණුසුම් ජල බුබුළු ශරීරය පුරා වදිනවා. එහිදී ශරීරයේ නිල ස්ථාන 329ක් පමණ උත්තේජනය වීමකට ලක්වෙනවා.”

”එය ශරීරයට ලැබෙන සම්බාහනයක් වැනි ක්‍රියාවක්. ජලබුබුළු වැදුණු ස්ථානය සම්බාහනය වී රුධිර ගමනාගමනය ඉතා හොඳින් සිදු වෙනවා. සාමාන්‍යයෙන් පළපුරුදු අයෙක් දිනකට විනාඩි 30ක් පමණ මෙම ප්‍රතිකාරය ලබාගැනීම ප්‍රමාණවත්.
හොඳ ප්‍රතිඵල ලැබීමට සතියකට තුන්වරක්වත් මෙම ප්‍රතිකාරය ලබාගත යුතුයි. මෙම ප්‍රතිකාරය ලැබීමට පැය 2කට පෙර ආහාර ගැනීමෙන් වැළකී සිටීම වැදගත්. ප්‍රතිකාරය ලබාගැනීමට මොහොතකට පෙර උණුසුම් ජල වීදුරුවක් පානය කිරීම වැදගත්. අදාළ ඉරියව්වලින් නියමිත කාලය ප්‍රතිකාරය ලබාගත්විට කිලෝමීටර් 4ක් 5ක් පමණ දිවීමෙන් ඇතිවන වෙහෙසක් දැනෙනවා.
එමෙන්ම ශරීරයෙන් කැලරි 300ක් 400ක් අතර ප්‍රමාණයක් දහනය වීමක් ද සිදුවෙනවා. විනාඩි 20ක් 30ක් පමණ ජල ප්‍රතිකාරය ගැනීමෙන් අනතුරුව තවත් විනාඩි දෙක තුනක් පමණ ජල බේසම තුළම නිසොල්මන්ව සිටීම වැදගත්.
එමෙන්ම ප්‍රතිකාරයට ලක්වී පැය 2ක් පමණ ගතවනතෙක් කිසිදු ආහාරයක් නොගෙන සිටීමද වැදගත්. තරමක උණුසුම් ජල වීදුරුවක් පානය කිරීම සුදුසුයි. මෙම ප්‍රතිකාරයට ලක්වූ විට ශරීරයේ රෝම කූප අසල ඇති සිදුරු පිරිසිදු වී විවර වෙනවා. එනිසා ප්‍රතිකාරය ගෙන විනාඩි 20ක් පමණ ගත වන තෙක් අපිරිසිදු දූවිලි සහිත පරිසරයට නිරාවරණය නොවී සිටි යුතුයි.
ඒ; විවර වී ඇති සමේ සියුම් සිදුරු තුළින් ශරීරය තුළට විෂබීජ ගමන් කළ හැකි නිසයි. මෙම ජල ප්‍රතිකාරය ලබාදීමට පෙර එම පුද්ගලයාගේ උස, බර, රුධිර පිඩනය වැනි විස්තර සොයා බලා ලේඛන ගත කරනවා.

ජල චිකිත්සාව (හයිඩ්‍රොතෙරපි) මඟින් සුවකර ගත හැකි රෝගාබාධ මොනවාද?
”විශේෂයන්ම අධිරුධිර පීඩනය, අඩු රුධිර පීඩනය, දියවැඩියාව, ඇදුම, ආතරයිටීස්, මළබද්ධය, කොඳු ඇට පෙළේ ආබාධ, පාදවල නහර ගැටගැසීම, ඉරුවාරදය, විවිධ ස්නායු ආබාධ, ආඝාතය, නින්ද නොයාම, විශේෂයෙන්ම කාන්තා ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව ඇතිවන විවිධ ආබාධ සඳහා හයිඩ්‍රොතෙරපි ප්‍රතිකාරය මඟින් සුවයක් ලබාගත හැකියි.
මෙහිදී අධි රුධිර පීඩනය, දියවැඩියාව, ආතරයිටිස් වැනි රෝගාබාධ සඳහා ඖෂධීය ප්‍රතිකාර ගන්නා අතරතුර හයිඩ්‍රොතෙරපි ප්‍රතිකාරවලට යොමුවීම වැදගත්. කලක් ගතවූ පසුව ඇතැම් රෝග සඳහා ඖෂධීය ප්‍රතිකාර අවශ්‍ය වන්නේ නෑ.
දිනකට විනාඩි 20ක 30ක පමණ හයිඩ්‍රොතෙරපි ප්‍රතිකාරයකට යොමුවීමෙන් ශරීරයෙන් විශාල කැලරි ප්‍රමාණයක් දහනය කරගත හැකි නිසා ස්ථූලභාවය හෙවත් තරබාරුකම අඩුකර ගැනීමට මෙම ප්‍රතිකාර ක්‍රමය ඉතා ප්‍රයෝජනවත් බව දැන් හෙළිවී තිබෙනවා.”
”ශරීරය වෙහෙසා කරන ව්‍යායාමවලින් ප්‍රතිඵලයක් ජල ප්‍රතිකාරවලට ලක්වීමෙන් ද ලබාගත හැකි වීම විශේෂත්වයක්. විශේෂයෙන්ම කය වෙහෙසා කරන ව්‍යායාම මඟින් තරබාරුකම අඩුකර ගැනීමට අපහසුවෙන් වෙහෙසෙන පුද්ගලයින්ට ජලචිකිත්සාව ඉතා සුදුසු ප්‍රතිකාරයක්.

මෙය ඉතාම ස්වභාවික ප්‍රතිකාර ක්‍රමයක් නිසා තරබාරු බව අඩුවීමේදී සම එල්ලා වැටීමක් සිදුවන්නේ නෑ. මෙහිදී මාංශපේශීන් සිහින් වීමක් සිදුවන නිසා ඉතා හොඳින් තරුණ පෙනුම ආරක්ෂා කරගැනීමේ අවස්ථාව ලැබෙනවා.
රූපලාවණ්‍ය අංශයෙන් ද හයිඩ්‍රොතෙරපි ප්‍රතිකාර ක්‍රමය ඉතා ප්‍රයෝජනවත්. ඉතා නිරෝගී පෙනුමැති සමක් හිමිකර ගැනීමටත් තරුණ පෙනුමක් ළඟාකර ගැනීමටත් හැකිවීම ජලචිකිත්සක ප්‍රතිකාර ක්‍රමයේ විශේෂ ප්‍රතිලාභයක්.”

මෙහිදී ඖෂධීය ද්‍රව්‍ය භාවිතා වෙනවාද?
”ඔව්; ජල ප්‍රතිකාරය ලබාගන්නා බේසමේ ඇති මඳක් උණුසුම් ජලයට විවිධ ඇරෝමා තෙල් වර්ගත් ඇතැම් ලුණු වර්ගත් යොදා ගන්නවා. යොදාගන්නා ඇරෝමා තෙල් වර්ගය පුද්ගලයාගෙන් පුද්ගලයාට, රෝගයෙන් රෝගයට වෙනස් වෙනවා.
මෙහිදී අධිරුධිර පීඩනයෙන් පෙළෙන පුද්ගලයින් සඳහා රෝස්මරි තෙල් ද, අස්ථි සහ මොළය උත්තේජනය කිරීම සඳහා පයින් ආරයිටිස් ද, සන්ධි ආබාධ සඳහා හේසීඩ් ද, මාංශපේශි තදවීම සඳහා ජුනිපර් ද, ඇදුම රෝගය සඳහා යුකැලිප්ටස් ද, මානසික ආතතිය සඳහා ලැවෙන්ඩර් තෙල් ද, සමේ ඇති විවිධ ආබාධ සඳහා කැමොමයිල් තෙල් ද භාවිතා කරනවා. මීට අමතරව සිවීඩ් සෝල්ට්, ලෙමන් සෝල්ට්, මෙලිස්සා සෝල්ට් වැනි ලුණු වර්ග ද භාවිතා කරනවා.

ජල චිකිත්සාව ඕනෑම අයකුට සුදුසුද? මෙහි අතුරු ආබාධ තිබෙනවාද?
”ඕනෑම වයසක ජීවත්වන ඕනෑම අයකුට මෙම ප්‍රතිකාරය ලබාගත හැකියි. රෝගී අයකුට මෙමඟින් රෝග සුවකර ගත හැකියි. නීරෝගී අයකුට තම නිරෝගී භාවය වැඩිදියුණු කරගත හැකියි.
ගර්භණී මවකට පවා මෙම ප්‍රතිකාරය ලබාගැනීමේ හැකියාව තිබෙනවා. එයින් පැහැදිලි වෙනවා නේද, ජලචිකිත්සාව ඕනෑම අයකුට කළ හැකි බව. මෙම ප්‍රතිකාර ක්‍රමයෙන් කිසිදු අහිතකර ප්‍රතිඵලයක් අත්වන්නේ නෑ.
සිහින් සිරුරක් ඇති අයකුට සිතෙන්නට පුළුවනි මෙම ප්‍රතිකාර කිරීම මඟින් තම ශරීරය තවත් සිහින් වේ යැයි කියා. එසේ සිදුවන්නේ නෑ. අප ජලචිකිත්සක ප්‍රතිකාරවලට යොමු විය යුත්තේ ජලචිකිත්සකවරයකුගේ (Hydrotherapist) අධීක්ෂණය යටතේ. කලක් ගතවූ පසුව තමන්ටම මෙය කරගත හැකියි.

රෝග රැසකට බලපාන අධික තරබාරුව

අධික තරබාරුව (Obesity) වශයෙන් හඳුන්වන්නේ සිරුරට දරාගත නොහැකි තරම් බරක්‌ සහිත සිරුරකටය. බර යනුවෙන් හඳුන්වන්නේ මාංශපේශී අස්‌ථි, මේදය සහ සිරුරේ ඇති ජලය (Muscles bone, fat and
body water) එකතුවටය. අධික තරබාරුව ඇතිවන්නේ සිරුරට ප්‍රමාණයට වඩා වැඩි කැලරි ප්‍රමාණයක්‌ ගන්නාවිටය. කැලරි ශරීරය ඇතුළට ගන්නා ප්‍රමාණයත් පිටතට යවන ප්‍රමාණයක්‌ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්‌ය. එය එසේ සිදුවන්නේ ප්‍රමාණයට වඩා කෑමෙන්, මේදය අධික ආහාර ගැනීමෙන්, ශාරීරික ව්‍යායාම නොකිරීමෙන්ය.

ඔබ අධික තරබාරු ගණයට අයත් වන්නේ නම් ඔබ හට දියවැඩියාව, හෘදරෝග, ආඝාතය, ආතරයිටිස්‌ හා පිළිකා යනාදිය ඇතිවීමට ඇති ඉඩ ප්‍රස්‌ථා වැඩිය. නමුත් ඔබගේ බර 5% ත් 10% ත් අතර ප්‍රමාණයක්‌ අඩුකර ගන්නේනම්, ඉහත කී රෝගවලින් වැළකී සිටීමේ අවස්‌ථාවද වැඩිවේ.

ශරීර බර ස්‌කන්ධ අගය (Body Mass Index) (BMI) තුළින් ඔබ සාමාන්‍ය බරින් යුක්‌තද, බර වැඩිද, එසේත් නැතිනම් අධික තරබාරුද කියා දැනගත හැකියි. එම අගය මනිනු ලබන්නේ ඔබගේ බර, ඔබගේ උසේ හැටියට ගැළපෙනවාද යන්න සස¹ බැලීමෙන්. ඒ අනුව බලන කල BMI අගය 18 සිට 24.5 දක්‌වා සාමාන්‍ය වශයෙන් 24.5 සිට 29.9 දක්‌වා බර වැඩි වශයෙන් (Over Weight)
BMI අගය 30 හෝ ඊට වඩා ඇත්නම් අධික තරබාරු වශයෙන්ද සලකයි.

කෙසේ නමුත් BMI මගින් නිවැරදිව ශරීරයේ මේදය ප්‍රමාණය දැන ගැනීමට නොහැකි අවස්‌ථාද තිබේ. උදාහරණයක්‌ වශයෙන් ගතහොත් කායවර්ධන ශිල්පියෙකුගේ BMI ප්‍රමාණය සිරුරේ මේදය වල අධික වීමක්‌ නොමැතිව වැඩිවශයෙන් දක්‌වන්නට පුළුවනි. එසේ දක්‌වන අගය සාමාන්‍ය එකක්‌ද නැද්ද යන්න ඔබගේ වෛද්‍යවරයා සමඟ කතා කිරීමේදී දැන ගත හැකිය.

ඔබට ගැළපෙන බර සකසා ගැනීමේදී සාමාන්‍ය බරට වඩා වැඩි කොපමණ බර ප්‍රමාණයක්‌ ඇතිද යන්න සොයා බැලීම ඉතාමත් වැදගත්ය. ඒ අනුව ඔබගේ ආහාර රටාව වෙනස්‌ කර ගැනීමත් ඒ වගේම ශාරීරික ව්‍යායාම කිරීමේ රටාවත් වෙනස්‌ කර ගැනීමද ඉතාමත් වැදගත්ය. ආහාර රටාව වෙනස්‌ කර ගැනීමේදී පහත සඳහන් දේ අනුගමනය කිරීමට පුළුවන්.

අඩුම වශයෙන් සතියකට මිනිත්තු 150 ක්‌ ව්‍යායාම වල යෙදෙන්න. මේ අතරට ඇවිදීම, පිහිනීම, ටෙනිස්‌, පැසිපන්දු හා සයිකල් පැදීමද එක්‌කර ගන්නට පුළුවන්.

ඔබ අවුරුදු 40 ට වඩා වැඩි පිරිමි අයකුනම්, අවුරුදු 50 ට වඩා වැඩි කාන්තාවක්‌ නම් යම්කිසි රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන්නේනම්, මෙසේ ශාරීරික ව්‍යායාම කිරීමට ප්‍රථම ඔබගේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කරන්න. නිරෝගී ජීවිතයක්‌ ගත කිරීමට නම් සෞඛ්‍යසම්පන්නව ආහාර වේලක්‌ ලබාගැනීම ඉතාමත් වැදගත්ය.

ආහාර ගන්නා පිඟානෙන් භාගයක්‌ම එළවළු හා පලතුරු වලින් පුරවාගන්න.

ඉතිරි කොටසින් භාගයක්‌ ධාන්‍ය වලින් පුරවාගන්න.

ඉතිරි කොටස ප්‍රොaටීන් සඳහා වෙන්කර ගන්න. මේ සඳහා මුහුදු මාළු, හරක්‌ මස්‌, පීකුදු, බිත්තර, බෝංචි, ලුණු නොමැති ඇටවර්ග ගත හැකිය.

සීනි ඇති පානයන් වෙනුවට සීනි නොමැති තේ හා පිරිසිදු වතුර ප්‍රයෝජනයට ගන්න.

සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්‌ ලබාගැනීමෙන් හා නිතිපතා කරනු ලබන ශාරීරික ව්‍යායාම තුළින් ඔබව නිරෝගීමත් ජීවිතයක්‌ කරා රැගෙන යනු ඇත. සමහර පවුල්වල අය උපතින්ම මෙසේ තරබාරු කම්වලින් දක්‌නට ලැබේ. ඒවා ඒ ඒ පවුල්වල ජාන සම්බන්ධතාවයක්‌ ඇතත් නිසි පරිදි ආහාර වේල සකස්‌ කරගැනීමෙන් හා ජීවන රටාව වෙනස්‌ කර ශාරීරික ව්‍යායාම කිරීම මගින් මෙම තත්ත්වයෙන් ඔවුන්ටද මිදීමට පුළුවනි. ඔබ ජීවත් වෙන්නේ කොහේද, ක්‍රීඩා කරන්නේ කොහේද, වැඩ කරන්නේ කොහේද යන්න බර කෙරෙහි බලපෑමක්‌ කරයි. විශේෂයෙන්ම හොඳ ආහාර සඳහා ළඟා වන්නේ කෙසේද ඇවිදින්නට ඇති ස්‌ථාන හා නොයෙක්‌ විදියේ ක්‍රියාකාරකම් වල යෙදීමට ඇති ඉඩ ප්‍රස්‌ථාද මේ කෙරෙහි බලපායි.

බොහෝ අය ඇවිදිනවාට වඩා වාහන වල සිටම ගමන් කරති. සමහර අය ජීවත් වන පරිසරය තුළ ඇවිදීමට ඉඩක්‌ නැත. ශාරීරික ව්‍යායාම කිරීමට ඉඩක්‌ නැත. බොහෝ අය පිට ස්‌ථානවලින් ආහාර ගනිති. නැතහොත් ඒ ඒ තැන්වලින් රැගෙන ගොස්‌ ආහාර ගනිති. ගෙදර උයනවට වඩා ඒ මගින් වන්නේ අවශ්‍ය ප්‍රමාණයට වඩා කැලරි ප්‍රමාණයක්‌ ලැබීමයි. විශේෂයෙන්ම මෙම ස්‌ථානවල බොහෝ විට අඩු කැලරි ප්‍රමාණයක්‌ හා අඩු මේදය ප්‍රමාණයක්‌ ඇති ආහාර දක්‌නට ලැබෙන්නේ නැත.

බර වැඩි කමත්, අධික තරබාරුවත් ඒ අයගේ ආදායම් මට්‌ටම අනුව විශේෂයෙන්ම බලපෑමක්‌ කරන්නේ නැත. විශේෂයෙන්ම අඩු ආදායම් ලාභීන්ට සෞඛ්‍ය සම්පන්න ආහාර ලබාගැනීමට බාධා ඇතත් ඔවුන් අනෙක්‌ අයට වඩා ක්‍රියාකාරිත්වය වැඩි බවක්‌ දක්‌නට ලැබේ. සමහර පවුල් ගනු ලබන ආහාර ප්‍රමාණය ඉතා විශාල වේ. ඒ නිසා ඒ අයට තම ආහාර වේල් ප්‍රමාණය (Portion) පාලනය කර ගැනීමට අපහසු වීමත් බර වැඩි වීමට බලපායි.

ප්‍රමාණවත් පරිදි නිදා නොගැනීමත් බර වැඩිවීමට හා අධික තරබාරුවට බලපායි. මෑතකදී කරනු ලැබූ පරීක්‍ෂණ අනුව අඩුවෙන් නිදා ගන්නා අයට තම බර අඩු කර ගැනීමට ඇති හැකියාව ඉතාමත් අඩු බව ඔප්පු වී තිබේ. එම නිසා නිතරම ප්‍රමාණවත් පරිදි නිදාගැනීමට උත්සාහ කළ යුතුය.

සමහර අවස්‌ථාවල තමන් ගන්නා යම් යම් ඖෂධ වර්ග නිසාත් බර වැඩි වීමක්‌ දක්‌නට ලැබේ. ඒ නිසා ඔබගේ බර වැඩි වීමක්‌ ඇතිවන්නේ නම් ඔබගේ වෛද්‍යවරයාගෙන් අවශ්‍ය උපදෙස්‌ ලබාගෙන එම ඖෂධවලට සරිලන වෙනත් ඖෂධ ලබාගන්න. දියවැඩියාව, හෘදයාබාධ, අධික රුධිර පීඩනය, ආඝාතය, වකුගඩු ආසාදන (Type 2 Diabertes, heart
disease, high blood pressure strokes, kidney
disease,) සහ සමහර පිළිකාද බර වැඩිවීම කෙරෙහි බලපාන්නට පුළුවනි. අධික තරබාරු තත්ත්වයක්‌ ඇති පිරිමි අය අනෙකුත් පිරිමි අයට වඩා බඩවැල් පිළිකා, ගුද මාර්ග සහ පුරස්‌ථි ග්‍රන්ථි පිළිකා (Developed cancer of
the Colon, rectum or prostate) යන තත්ත්වයන් වෙත ගොදුරු වීමේ හැකියාව තිබේ. අධික තරබාරු කාන්තාවන්ට වෙනත් කාන්තාවනට වඩා (Developed cancer of the
breast, gold bladder, uterus orcervix) පියයුරු පිළිකා, පිත්තාශ, ගර්භාෂ සහ ගැබ්ගෙල පිළිකා වනට ගොදුරු විය හැකිය.

මීට අමතරව පහත සඳහන් සෞඛ්‍ය ගැටලු ඇති අයටද බර වැඩිවීමේ ප්‍රවණතාව වැඩිවිය හැකිය.

එනම් * හුස්‌ම ගැනීමේ අපහසුතාව. (Including sleep apnea)

* අක්‌මාවේ මේදය තැන්පත් වීම (Fatty
liver disease)

* පිත්තාශ ආසාදන සහ පිත්තාශ ගල් සහ ගර්භනී සමයේ මතුවන ගැටලු වන (Gall
bladder disease and gallstones)

* රුධිරයේ සීනි වැඩිවීම සහ අධි රුධිර පීඩනය (high blood sugar during pregnancy,
high blood pressure) රෝග තත්ත්වයන්ය.

ඇලන්ටන් වීරසිංහ
උපදේශක වෛද්‍ය බයෝපති
දුරකථන( 0777320898, 0773695297)


published in Divaina on 21-06-2014
http://www.divaina.com/2014/06/21/sayanaya02.html

වකුගඩු රැකගන්න වත්පිළිවෙත්

වකුගඩු ආසාදනයට ලක්‌ වූවන් වෙනදාට වඩා වර්තමානයේ හමුවේ. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ අප ගෙවන ජීවන රටාවේ අක්‍රමවත් බවය.

මිනිසුන්ගේත් තිරිසන් සතුන්ගේත් වකුගඩු පිහිටා ඇත්තේ වෙනස්‌වය. සතුන්ගේ සිරුරේ වම් අත පැත්තට බරවත් මිනිසුන්ගේ සිරුරේ දකුණු අත පැත්තට බරවත් වකුගඩු පිහිටා ඇත. සිව්පා සතුනට වකුගඩු රෝග ඇතිවන්නේ කලාතුරකිනි. ඊට හේතුව ඔවුන් ගහ කොළ ඇසුරෙහි ජීවත්වන බැවිනි. නමුත් වර්තමානයේ මිනිසුන් ඉතා සීමිත ඉඩකඩක කෘත්‍රිමව සකස්‌ කළ ආහාර පාන අනුභව කරමින් අපිරිසිදු වාතාශ්‍රය සහිත පරිසරයක ජීවත්වීම නිසා වකුගඩු ආසාදන ඇතිවීම බහුල වී ඇත.

නාඩි වෛද්‍ය විද්‍යාවට අනුව මහා සෘෂිවරු විසින් වකුගඩු රෝග ගැන සඳහන් කර ඇත්තේ "වකුගඩු රෝගා බාධා මනුස්‌සා තෘතකර්හි තෘතකර්හි ආසාදන භාඝා පීඩා වකුගඩු රෝගා බාධා ස්‌ත්‍රී පුරුෂ රෝගා බාධා හෙයි හෙයි" ලෙසිනි. එනම් කාන්තාවන් සහ පිරිමින් ගෙවන ජීවන රටාව අනුව ඔවුනට වකුගඩු ආසාදන ඇතිවන බවත් ඉන්ම ඔවුන් මරණයට පත්වන බවත්ය.

වකුගඩු ආසාදනය වීම

වකුගඩු යනු මිනිසාගේ ජීවිතය පාලනය කරන ඉන්ද්‍රිය අතරින් ප්‍රධාන තැනක්‌ ගනු ලබන ඉන්ද්‍රියයකි.

වකුගඩු ආරක්‍ෂා වන්නේ ජලය සහ සුළඟ මගිනි. අප පානය කරන ජලය අපිරිසිදුනම් ආශ්වාස ප්‍රශ්වාස කරන වාතය අපිරිසිදුනම් ඉතා පහසුවෙන් වකුගඩු ආසාධනයට ලක්‌ වේ.

මවුකුසේ හටගන්නා කළලයට මාස තුනක්‌ සම්පූර්ණ වූ විට වකුගඩු වර්ධනය වන්නට පටන් ගනී. එතැන් පටන් වයස අවුරුදු 20 පමණ වන තුරු පුද්ගලයකුගේ වකුගඩු ඉතා පැහැපත්ව පවතී. එසේ වන්නේ මෙම වයස දක්‌වා පිරිසිදු ආහාරපාන ගැනීමට උනන්දු වන බැවිනි. ඉන්පසු මත්පැන්, මත්ද්‍රව්‍ය, දුම්වැටි, වස විස සහිත ආහාර වර්ග ගැනීම වැඩි වන නිසා ක්‍රමක්‍රමයෙන් වකුගඩු පැහැයද දුර්වර්ණ වේ. ක්‍රියාකාරීත්වයේද දුර්වලතා හට ගනී. ඉන්පසු වකුගඩු විශාල වීම, ඉදිමුම බිබිලි සහිත ගෙඩි හට ගැනීම සිදු වේ.

මෙලෙස වකුගඩු ක්‍රියාකාරිත්වය දුර්වල වන විට නිතර නිතර මුත්‍රා ආසාදන හට ගැනීම, ආහාර අරුචිය, විඩාව දැනීම, දෙපා ඉදිමුම වැනි රෝග ලක්‍ෂණ මතුවන්නට පටන් ගනී.

රෝග ලක්‍ෂණ මතුවන විටදීම නිසි ප්‍රතිකාර කළහොත් වකුගඩු ආසාදන නිසා සිදු වන වකුගඩු අක්‍රීය වීම වළක්‌වාගත හැකිය. එසේ නොමැතිව රෝග ලක්‍ෂණ කිහිපයක්‌ මතුවූ විට ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් ලැබෙන ප්‍රතිඵලයක්‌ නැත.

වකුගඩු රැකගන්නා හැටි

සෑම පුද්ගලයකුම තම වකුගඩු ආරක්‍ෂා කර ගැනීම කුඩා කල සිට හුරු පුරුදුවිය යුතුය. ඒ සඳහා පිරිසිදු ජලය පානය, පිරිසිදු වාතාශ්‍රය සහිත පරිසරයක ජීවත් වීම ශරීරය පිරිසිදුව තබා ගැනීම පුරුද්දක්‌ බවට පත්කර ගත යුතුය.

අක්‌කපාන කොළ, අමුක්‌කරා පිටි වැල්කොහිල අල, හීන් බෝවිටියා මල්, වැල් තිබ්බටු ගස සහමුලින්ම, නීරමුල්ලිය මුල්, කුප්පමේනියා මුල් සමව ගෙන වියළා තම්බා පානය කිරීම හෝ පිටිකරගෙන තේ හැන්දක්‌ බැගින් දිනපතා පානය කිරීම මගින් වකුගඩු රැකගත හැකිය.

මාදං පොතු, කොහොඹ පොතු, සියඹලා පොතු, යක්‌නාරං පොතු, කහට පොතු, ඇඹුල් අඹ පොතු, කලුදුරු සමව ගෙන අව්වේ වියළා පිටිකරගෙන උදේ සවස තේ හැඳි 1/2 ක්‌ සීනි දමා පානය කිරීම මගින්ද වකුගඩු රැකගත හැකිය.

නාඩි වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය වෛද්‍ය ජිනසිරි ලියන්වෙල
අංක 118/2, අඟුලාන දුම්රියපොළ පාර, උද්‍යාන මාවත, අඟුලාන, මොරටුව.
දුරකථන (- 0112632225


published in Divaina on 19-04-2014
http://www.divaina.com/2014/04/19/sayanaya03.html