Friday, September 5, 2014

අරක්‌කු රටත් සමාජයත් ලෙඩකරන හැටි

මත්පැන් පිළිබඳව සමාජය තුළ ඇති මතයන් විවිධාකාරය. යම් පිරිසකට මත්පැන් යනු ජීවිතයේ වටිනාම සම්පතය. දුවා දරුවන් පවා මත්පැන් තරම් ඔවුනට වටින්නේ නැත.

සමාජයේ මත්පැන් භාවිතයද විවිධාකාරය. සමහරක්‌ උදැසන කටහොදන්නේද මත්පැන් වලිනි. සමහරකුට මත්පැන් කල්කදුරු තරම් තිත්තය. ඕනෑම සමාජ නියෑඳියක මෙන් මෙම දෙකොටසටම අයත්වන්නෙ සුළුතරයකටය. සමජයේ බහුතරයක්‌ මෙම දෙකොටසටම අයත් නොවේ. ආකල්පමය අතින් සමාජයේ අතිබහුතරයක්‌ මද්‍යසාර කෙරෙහි දක්‌වන්නේ උදාසීන මතයකි. ඔවුනට මද්‍යසාර යනු තවත් එක්‌ පාරිභෝගික ද්‍රව්‍යයක්‌ පමණි. එය තමන්ගේ යහපැවැත්මට වින කරන බවට හැඟීමක්‌ ඔවුනට නැත.

ශ්‍රී ලංකාවේ මත්පැන් භාවිත කරන්නේ 15% පමණ සුළුතරයකි. ඔවුන්ගෙන් බහුතරයක්‌ද මත්පැන් භාවිත කරන්නේ විශේෂ අවස්‌ථාවකදී පමණි. ආකල්පමය අතින් මද්‍යසාර ගැන උදාසීන ප්‍රතිපත්තියක්‌ දරන්නන් හා විශේෂ අවස්‌ථාවලදී පමණක්‌ මත්පැන් භාවිත කරන්නන් ශ්‍රී ලංකාවේ සම්පූර්ණ මත්පැන් පරිභෝජනයට ඇතිකරන බලපෑම ගැන සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණයි.

මත්පැන් පොදුවේ ශ්‍රී ලාංකික සමාජයේ හෝ විශේෂයෙන්ම සිංහල සමාජයේ දියුණුවට ඇති ප්‍රධානතම අභියෝගයයි. ශ්‍රී ලංකාවේ මත්පැන් වඩා ප්‍රචලිතව ඇත්තේ සිංහල හා දෙමළ ප්‍රජාව අතරය. විද්වතුන්ට අනුව වසරකට ලංකාවේ මරණ 20000 කට පමණ මත්පැන් හේතුවෙයි. අක්‌මාගත සිරෝසීස්‌ රෝගය නිසා ඇතිවන මරණ ඉහළින්ම වාර්තාවන රටකි ශ්‍රී ලංකාව. රිය අනතුරු, පිළිකා හා සියදිවි නසාගැනීම නිසා ඇතිවන මරණ සෑහෙන ප්‍රතිශතයකටද මද්‍යසාර සෘජුව හෝ වක්‍රාකාරව හේතුවෙයි. යුද්ධය නිසා හෝ ඩෙංගු නිසා හෝ සිදු වූ මරණ ගණනට වඩා වැඩි මරණ ප්‍රමාණයක්‌ මත්පැන් නිසා සිදුවී ඇත.

විශේෂයෙන්ම සිංහල/දෙමළ සමාජයේ දුප්පත්කමට මත්පැන් දායක වේ. දිස්‌ත්‍රික්‌ක දෙකක දුප්පත් පවුල් අතර කරන ලද සමීක්‍ෂණයකට අනුව එම පවුල්වල පිරිමියා සිගරට්‌/මත්පැන්වලට ඇබ්බැහි වී ඇතිනම් පවුලේ මාසික ආදායමෙන් 40% ක්‌ ඒ සඳහා වැයවන බව සොයාගෙන ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රධාන මත්පැන් නිෂ්පාදන සමාගමක 2012 දළ වාර්ෂික ආදායම රු, 63,000,000,000/- ලෙස වර්තාවන අතර, මෙම මුදල ශ්‍රී ලාංකිකයන් වසරකට මත්පැන් සඳහා වැයකළ මුදලින් කොටසක්‌ පමණක්‌ වනු ඇත.

මත්පැන් හා ප්‍රචන්ඩත්වය අතරද අවාසනාවන්ත සම්බන්ධයක්‌ පවතී. මත්පැන් භාවිත කළ පුද්ගලයකුට ප්‍රචන්ඩ ලෙස හැසිරීමට, සමාජය ලබාදී ඇති වරප්‍රසාදය මෙයට හේතුවයි. ශ්‍රී ලංකාව තුළ භාර්යාවන්ගෙන් 30% පමණ ස්‌වාමි පුරුෂයාගේ කායික තාඩන පීඩනවලට ලක්‌වේ. මෙම පවුල්වලින් සැලකිය යුතු කොටසක ස්‌වාමි පුරුෂයන්, මත්පැන් ප්‍රචන්ඩත්වයට නිදහසට කාරණාවක්‌ කරගනී.

ඉහත දත්තවලට අනුව ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ආර්ථිකමය හා සෞඛ්‍යමය පසුබෑමට මෙන්ම, පවුලේ සතුට නැතිවීමටද ප්‍රධාන හේතුවක්‌ ලෙස මත්පැන් භාවිතය හේතුවන බව පැහැදිලිය.

එහෙත් පොදු සමාජය තුළ ඩෙංගු විරෝධී, කිරිපිටි විරෝධී, දූෂණ විරෝධී කතිකාවත් බොහෝ ඇතත් මත්පැන් විරෝධී කතිකාවතක්‌ ගොඩ නොනැගෙන්නේ ඇයි? මත්පැන් භාවිත නොකරන්නන් හා විශේෂ අවස්‌ථාවල පමණක්‌ මත්පැන් භාවිත කරන්නන්ගේ උදාසීනත්වය. බියගුලුකම, උඩඟුකම හෝ නොදැනුවත්කම නිසාය. ශ්‍රී ලංකාව තුළ මත්පැන් නිසා සිදුවන හානියට සෘජුව බලපාන්නේ නිද්‍රdශීලී පිළිවෙතය.

ගමක මරණාධාර රැස්‌වීමක වේවා නගරයේ විධායක නිලධාරීන්ගේ එකමුතුවකදී හෝ වේවා දූෂණය, කිරිපිටි ආදිය ගැන වේවා කෙනෙක්‌ කතා කළත්, මත්පැන් නිසාවන හානිය ගැන කතා කිරීමට කෙනෙකු ඉදිරිපත්වන්නේ කලාතුරකිනි. මෙම රැස්‌වීමක බහුතරය මත්පැනට ලොල්වූවන් නොවනු ඇත. එමනිසා තනිපුද්ගලයකු හෝ රැස්‌වීමේ සාමාන්‍ය කතාබහට මත්පැන් නිසා වන හානිය ගැන කතිකාවතක්‌ එකතු කළහොත්, නොදැනුවත්වම එම කුඩා සමාජය තුළ මත්පැන් නිසා වන හානිය අඩුවනු ඇත.

ඔබ ප්‍රිය සම්භාෂණයක්‌ හෝ මිතුරු හමුවක්‌ සංවිධානය කරන්නේ නම්, තනි පුද්ගලයකු හෝ කිහිදෙනකු එය මත්පැන් හමුවක්‌ බවට පත්කිරීමට දරන උත්සාහය ඔබට වැළැක්‌විය හැක. මංගල සාදයකදී මෙය වඩා වැදගත්ය. උත්සවයට සහභාගිවන්නන්ගේ බහුතරයක්‌ මැත්පැන් භාවිත නොකරන නිසා, බහුතරයකගේ සතුටට මද්‍යසාර නැතිවීම හේතුවනු ඇත. නමුත් මෙහිදී මද්‍යසාරවලට ලොල් වූ කිහිපදෙනකුගේ රැවුම් ගැරහුම් හෝ ආයාචනා ඉදිරියේ නොසැලී සිටීමට තරම් ඔබ සෘජු විය යුතුයි.

ඔබේ ගමේ පිරිමින් කිහිපදෙනකු මත්පැන් භාවිතකර ගේදොර තුළ අඩදබර කරන්නේ නම් ඔබ නිහඬව සිටිය යුතුද? ගමේ එසේ නොකරන බහුතරය ඊට විරුද්ධ කතිකාවතක්‌ ගම තුළ ඇතිකරන්නේ නම් ඔබේ ගම වඩා සුන්දර තැනක්‌ වනු ඇත. එසේම ඔබේ දරුවන්ගේ යහවර්ධනයට වඩා හොඳ පරිසරයක්‌ ගම තුළ ඇතිවනු ඇත.

මාධ්‍යයන් හරහා යම්කෙනෙකු මද්‍යසාර වර්ණනා කරන්නේ නම් සැබෑ මාධ්‍යකරුවෙකුගේ වගකීම ඊට එරෙහිවීමයි. සැබෑ සුන්දර මාධ්‍යකරුවකුගේ යුතුකම වන්නේ තම පාඨකයන්ගේ ජීවිත වඩා සුන්දර කිරීම නොවේද? 70-80 දශකයේ අපට සිටි වටිනාම කලාකරුවන් කිහිපදෙනකු අපට අහිමිකළේ යුද්ධය නොව මත්පැන් ය. පාසලේ ක්‍රීඩා උළෙලකදී හෝ පාසලේ මහා ක්‍රිකට්‌ ගැටුමකදී හෝ ගුරුවරයකු, ආදි ශිෂ්‍යයකු හෝ ප්‍රභූවරයකු හෝ මත්පැන් පානය කරයි නම්, එය දකින ශිෂ්‍යයන්ද මත්පැන් පානයට යොමුවනු ඇත. එසේ යොමුවන දරුවන්ගෙන් කොටසක්‌ මත්පැන් නිසා ජීවිතය වනසාගනු ඇත. මෙම කටුක සත්‍යය ගැන කතිකාවතක්‌ ගුරු ප්‍රජාව තුළ හා ආදි ශිෂ්‍ය සංගමය තුළ ඇතිවන්නේ නම් ශිෂ්‍යයන්ගේ පොදු අනාගත දියුණුවට එය හේතුවනු ඇත.

ඉහත දැක්‌වූ උදාහරණවලට අමතරව මද්‍යසාර භාවිත නොකරන්නන් හා විශේෂ අවස්‌ථාවල පමණක්‌ මත්පැන් භාවිත කරන්නන්, ශ්‍රී ලංකාව තුළ මත්පැන් නිසා වන හානියට දායකවන ආකාරය බොහෝය. ඔබත් එවැනි පුද්ගලයකු නම් ඔබට සමාජ සංවර්ධනයට දායක විය හැකි පහසු මගක්‌ ඇත. එනම් ඔබේ වටපිටාව තුළ මද්‍යසාර නිසා වන හානිය හඳුනාගැනීම හා ඊට විරුද්ධ කතිකාවක්‌ ආරම්භ කිරීමය.

මනෝ වෛද්‍ය ප්‍රභාත් වික්‍රම

Published in Divaina on 06-10-2013
http://www.divaina.com/2013/10/06/feature09.html

No comments:

Post a Comment