Friday, September 5, 2014

තෙල් කෑම වැඩිවුණාම අක්මාව ලෙඩ වෙනවා

අක්මාව ලෙඩවෙන්නේ අප නොදැනුවත්වමයි


කොළඹ ජාතික රෝහලේ
ශල්‍ය වෛද්‍ය විශේෂඥ
මහාචාර්ය මන්දික විජේරත්න

අක්මාව රෝගී වීම නිසා මිය යන සංඛ්‍යාව දිනෙන් දිනම වැඩි වන්නට පටන්ගෙන තිබෙනවා. අක්මාව රෝගී වන්නේ බොහෝ විට අප නොදැනුවත්වයි. මේ රෝගයේ භයානක බව එයයි. අක්මා රෝගියකු හට තම අක්මාවෙන් කොටසක් පරිත්‍යාග කිරීමට ශල්‍යකර්මයකට භාජනය වූ ශ්‍රී ලාංකික කාන්තාවක් මීට සති කීපයකට ඉහතදී ඉන්දියාවේ දී මිය ගියා. එයින් පසුව අක්මා රෝග පිළිබඳව වැඩි අවධානයක් ඇති වුණා.
ලංකාවේ අක්මා බද්ධයක් සාර්ථකව සිදු කළේ මීට වසර 2 කට පෙර දී. එම ශල්‍යකර්මය කළේ මහාචාර්ය මන්දික විජේරත්න මහතා. අක්මා රෝග පිළිබඳවත් ඒ සඳහා ඇති ප්‍රතිකාර පිළිබඳවත්, අක්මා බද්ධය පිළිබඳවත් ඇති ගැටලු කීපයක් මහාචාර්ය මන්දික විජේරත්න මහතාට අප යොමු කළේ ඒ නිසයි.

අක්මාව කෙතරම් වැදගත් ශරීර අවයවයක්ද?
අක්මාව තමයි අපේ ශරීරයේ තිබෙන විශාලතම ඉන්ද්‍රිය. අපේ ශරීරය නිරෝගීව පවත්වාගෙන යන්න අක්මාව විශාල කාර්ය භාරයක් සිදු කරනවා. ශරීරයට අවශ්‍ය ශ්‍රාවයන් රාශියක් ම අක්මාව තුළ නිපදවෙනවා.
ඇල්බියුමින් ප්‍රෝටීන, රුධිරය කැටි ගැසීමට උපකාරි වන රසායන, කොලෙස්ටරෝල් මේදය එසේ අක්මාව තුළ නිපදවෙන රසායන කීපයක්. අපේ ශරීරයට විශාල මෙහෙයක් කරන ‘පිත’ ශ්‍රාවය වන්නේ ද අක්මාවෙන්. රුධිරයේ ඇති රතු රුධිරානු විනාශ වූ පසුව එහි රතු කොටස ශරීරයෙන් ඉවත් කරනු ලබන්නේ බිල්රුබීන් නම් රසායනිකය බවට පරිවර්තනය කිරීමෙන්.

බිල්රුබීන් ශරීරයෙන් ඉවත් කිරීමට උපකාරිවන්නේ පිතයි. මීට අමතරව අප ගන්නා ආහාර ජීර්ණය කිරීමට ද පිත විශාල දායකත්වයක් ලබා දෙනවා. මීට අමතරව අපගේ ශරීරයට අවශ්‍ය ග්ලයිකෝජන් තැන්පත් වී තිබෙන්නේ ද අක්මාව තුළ. අප ගන්නා ආහාර වලින් ලැබෙන ග්ලූකෝස්වලින් කොටසක් ග්ලයිකෝජන් ලෙස අක්මාවේ තැන්පත් වෙනවා. අප ආහාර නොගන්නා අවස්ථාවලදී රුධිරයේ සීනි මට්ටම ස්ථාවරව පවත්වාගෙන යාමට අක්මාවේ තැන්පත් වී ඇති මේ ග්ලයිකෝජන් සහාය ලබා දෙනවා.

අක්මාවෙන් සිදුවන තවත් කාර්යභාරයක් තිබෙනවා... ඒ; අප ගන්නා ආහාර වල තිබෙන පෝෂ්‍ය කොටස් මහා අන්ත්‍රයේදී ශරීරයට උරාගත් පසුව ඒවායේ ඇති විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමට කටයුතු කිරීමයි. අප ගන්නා ආහාරවල තිබෙන පෝෂ්‍ය කොටස් සහ ජලය ශරීරයට උරාගැනීමෙන් අනතුරුව ඒවා රුධිර සංසරණ පද්ධතියට එක්වන්නේ අක්මාව හරහා. මෙහිදී අක්මාව ප්‍රධාන ආරක්ෂකයකු ලෙස ක්‍රියා කරනවා.
අප ගන්නා ආහාර මගින් කිසියම් විෂ සහිත ද්‍රව්‍යයක් ශරීර ගත වී නම් එය පළමුව ගමන් කරන්නේ අක්මාවට. එහිදී අක්මාව තුළදී එම විෂ පෙරීමකට ලක්වෙනවා; විෂ ඉවත් වෙනවා. ඉන්පසුවයි එම පෝෂ්‍ය කොටස් රුධිරයට එකතුවන්නේ. ඒ වගේ ම මහා අන්ත්‍රයේ තිබෙන බැක්ටීරියාවන්ගේ ක්‍රියාකාරිත්වය නිසා නිපදවෙන ඇමෝනියා වැනි විෂද්‍රව්‍ය ශරීරයට අහිතකර නොවන ද්‍රව්‍යයක් බවට පත් කිරීමේ හැකියාව අක්මාවට තිබෙනවා.

අක්මාව රෝගී වන්නේ කෙසේද?
ඉහත දැක්වූ ආකාරයට අපගේ පැවැත්මට විශාල මෙහෙයක් කරන අක්මාව විවිධ හේතු නිසා රෝගී වෙනවා. ඒ සඳහා ප්‍රධාන වශයෙන් ම බලපාන්නේ අධික ලෙස මත්පැන් පානයයි. මත්පැන් නිසා අක්මාව තුළ ඇති ‘හෙපටො සයිට්’ නම් විශේෂ සෛල විනාශ වෙනවා.
හෙපටොසයිට් සෛල විනාශ වූ විට අක්මාව දුර්වල වෙනවා. අක්මාව දුර්වල වෙනවා යැයි කියන්නේ අක්මාව තුළ ඇති හෙපටොසයිට් සෛල දුර්වල වීමයි. අධික ලෙස මත්පැන් පානය නිසා අක්මාව විකෘති වී දුර්වල වීම ‘සිරෝසීස්’ රෝගය ලෙස හඳුන්වනවා. සිරෝසීස් රෝගය ඇති වන්නේ මත්පැන් නිසාම නොවේ. ඒ සඳහා තවත් හේතු ගණනාවක් ම තිබෙනවා.

හෙපටයිටිස් ‘බී’ සහ හෙපටයිටිස් ‘සී’ යන වෛරස් දෙක අක්මාවට කරන බලපෑම නිසා ද අක්මාව රෝගී වෙනවා; ඒ කියන්නේ සිරෝසීස් රෝගය හට ගන්නවා. අප රටේ බහුල වශයෙන් දැකගන්න නොලැබුණත් හෙපටයිටිස් ‘බී’ සහ ‘සී’ නිසා අක්මාව රෝගී වීම බටහිර රටවල බහුලව දැකගත හැකි තත්ත්වයක්.
හෙපටයිටිස් වෛරසය ශරීරයට ඇතුළු වූ පසුව එය ශරීරයෙන් ඉවත් කර ගැනීම ඉතාම අපහසුයි. එම වෛරසය තැන්පත් වී තිබෙන්නේ අක්මාව තුළයි. මෙම හෙපටයිටිස් වෛරසය නිසා අක්මාව රෝගී වෙනවා.
හෙපටයිටිස් වෛරසය ශරීරයට ඇතුළුවන්නේ රෝගී පුද්ගලයකුගේ කෙල වැනි ශ්‍රාවයන් නිරෝගී පුද්ගලයකුගේ ශරීර ගතවීමෙන්. ලිංගික එක්වීම් මගින් ද හෙපටයිටිස් වෛරසය ශරීරගත වීමට හැකියාව තිබෙනවා. ඒ අක්මාව රෝගී වන තවත් ක්‍රමයක්.

එතකොට ‘සිරෝසීස්’ ලෙස හඳුන්වන්නේ කුමන තත්ත්වයක් ද?
විනාශයට පත් වූවන් නැවත ලියලීමේ හැකියාවක් අක්මාවට තිබෙනවා. ඒ හැකියාව ඇති ප්‍රධානම ඉන්ද්‍රිය තමයි අක්මාව. විවිධ හේතු නිසා අක්මාව ටිකින් ටික විනාශයට පත් වනවිට එය නැවත ලියලන්නේ විකෘති ආකාරයට. එසේ ලියලුවත් අක්මාව කලින් තිබුණු ආකාරයට පත්වන්නේ නැහැ. විවිධ හේතු නිසා අක්මාව විනාශයට පත්වූ පසුව ඉතිරිවන්නේ විකෘති වූ අක්මාවක්; විකෘති ආකාරයට ලියැලුණු අක්මාවක්. එසේ නැතිනම් කුඩා වුණු හැකිළුණු අක්මාවක්. මත්පැන් නොවන හේතූන් නිසා ඇතිවන ‘සිරෝසීස්’ රෝගයේදී අක්මාව කුඩා වෙනවා; හැකිළෙනවා. අක්මාවේ හැඩය වෙනස් වෙනවා. ‘සිරෝසීස්’ රෝගය ලෙස හඳුන්වන්නේ අක්මාව රෝගී වීම නිසා ඇතිවන එම විකෘතියයි.

අක්මාව ලෙඩ වන තවත් හේතුන් තිබෙනවාද?
විස්තර කළ හැකි හේතූන් නිසා මෙන් ම විස්තර කළ නොහැකි හේතූන් රැසක් ම නිසා අක්මාව රෝගී වෙනවා. පර්යේෂණ මගින් හෙළි වී තිබෙන්නේ බොහෝ විට ඒවා ප්‍රතිශක්තිකරණය හා සම්බන්ධ හේතූන් බවයි. අක්මාව රෝගී වීමට බලපාන මත්පැන් නොවන හේතූන් පිළිබඳව සලකා බලන විට අක්මාව තුළ මේදය තැන්පත්වීම ප්‍රධාන තැනක් ගන්නවා. මෙම තත්ත්වය ලෝකයේ වෙනත් රටවලට වඩා ශ්‍රී ලංකාව තුළ බෙහෙවින් වැඩි බව හෙළි වී තිබෙනවා.
ඒ සඳහා හේතු වී තිබෙන විශේෂ සාධක තිබෙනවාද?
පසුගිය අවුරුදු 25 - 30 අතර කාලය තුළ ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවන රටාව අසාමාන්‍ය ලෙස වෙනස් වීමකට භාජනය වුණා. වැරදි ආහාර රටාවන්ට මිනිසුන් යොමු වුණු නිවසක සැමියා සහ බිරිය යන දෙදෙනාම රැකියාවට යාම නිසා නිවසේ පිළියෙල කරන ලද ආහාර ගැනීම බෙහෙවින් අඩු වුණා. පිළියෙල කරන ලද ක්ෂණික ආහාර ගැනීමට බොහෝ දෙනෙක් පෙලඹුණා.

ක්ෂණික ආහාරවල කැලරි ප්‍රමාණය අධිකයි; සීනි අධිකයි; මේදය අධිකයි. ඒ වගේ ම බොහෝ දෙනෙක් තුළ පවතින කාර්ය බහුලත්වය නිසා නියමිත වේලාවට ආහාර ගැනීමත් මග හැරෙන්නට වුණා. එවිට සිදුවන්නේ ආහාර ගන්නා අවස්ථාවලදී කැලරි, මේදය, සීනි අධික ආහාර වැඩි ප්‍රමාණයක් ගැනීමට පෙලඹීමයි.

ඒ වගේ ම මිනිසුන්ට කය වෙහෙසා වැඩ කිරීමේ අවස්ථාවන් පසුගිය කාලය තුළ අහිමි වී තිබෙනවා.
ඉතාම කෙටි දුරක් හෝ යාමට ත්‍රීවීලර්, මෝටර් බයිසිකල් ආදිය භාවිතය නිවසේ කුස්සියේ සියලුම වැඩකටයුතු සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිතය රූපවාහිනිය ක්‍රියාත්මක කිරීමට පවා පුටුවෙන් නැගිට නොයා රිමෝට් කොන්ට්‍රෝලර් භාවිතය ආදිය නිසා කය වෙහෙසීමේ අවස්ථාවන් මිනිසුන්ට අහිමි වී තිබෙනවා.

ඒ වගේ ම කිසියම් කාලයක් යොදවා හිතා මතා ව්‍යායාම කරන්නේ සමාජයේ ඉතාම අල්ප පිරිසක්. පාසල් දරුවන් පවා වැඩියෙන් යොමු වී සිටින්නේ සහ යොමු කරන්නේ ඉගෙනීමේ කටයුතුවලට පමණයි. ක්‍රීඩා කටයුතු සඳහා පාසල් දරුවන් යොමු කරනවා අඩුයි. නිවෙස්වල සිටින බොහෝ දෙනා කරන්නේ රූපවාහිනිය ඉදිරිපිටට වී ආහාර ගැනීමයි. ඉහත දැක්වූ ක්‍රියාවන්ගේ අවසන් ප්‍රතිඵලය වන්නේ අක්මාව තුළ මේදය තැන්පත් වීමයි. අක්මාව තුළ මේදය තැන්පත්වීම ඉතාම භයානක තත්ත්වයක්. ශ්‍රී ලංකාව තුළ හමුවන බොහෝ අක්මා රෝගීන්ගේ එම රෝගයට හේතුව මෙයයි. එබැවින් තමන් ගන්නා ආහාර වේල පිළිබඳවද ශාරීරික ව්‍යායාම පිළිබඳවද දැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා.

අපේ රටේ මත්පැන් නොවන හේතූන් නිසා අක්මාව රෝගී වූ අයගෙන් බහුතරයක් අක්මාව තුළ මේදය තැන්පත් වූවන්. ඊට අමතරව යකඩ කොපර් වැනි ද්‍රව්‍යයක් අක්මාව තුළ වැඩිපුර තැන්පත් වීම ද අක්මාව රෝගී වීමට හේතු වෙනවා. අක්මාව රෝගී වීමට තවත් සාධකයක් හේතු වන බව පර්යේෂණ මගින් හෙළිවී තිබෙනවා. ඒ ඩෙංගු රෝගයයි. ඩෙංගු රෝගය උත්සන්න වූ විට එය අක්මාවට දැඩි ලෙස බලපෑම් ඇති කිරීමට සමත්. එබැවින් ඩෙංගු රෝගයේදී අක්මාව රෝගී වීමට ප්‍රථම අවශ්‍ය ප්‍රතිකාර ලබාගැනීම ඉතා වැදගත්.

උපතේ දීම අක්මාව රෝගී වන අවස්ථාවන් ද තිබෙනවා. බොහෝ විට එසේ වන්නේ පිත්තාශය පිත්ත නාළ උපතේ දීම නොපිහිටීමයි. මෙහිදී ළමයා උපන් පසුව කහ පැහැයට හැරෙනවා. මෙම තත්ත්වය දිගින් දිගටම පැවතීම ළමයාගේ අක්මාව විනාශ වීමට හේතුවක්.
අප ගන්නා ඖෂධ මගින් ද අක්මාව රෝගී වන බව හෙළි වී තිබෙනවා. සෑම ඖෂධයකම පාහේ ශරීරයට විෂ සහිත ද්‍රව්‍ය අඩංගු වෙනවා. ඖෂධ වල ඇති එම විෂ සහිත ද්‍රව්‍ය ඍජුවම බලපාන්නේ අක්මාවට සහ වකුගඩු වලට.

අක්මාව රෝගී වූ විට පෙන්නුම් කරන රෝග ලක්ෂණ මොනවාද?
අක්මා රෝගයේ ඇති ප්‍රධාන ම ලක්ෂණයක් වන්නේ අක්මාව දුර්වල වීම ආරම්භ වන මුල් අවස්ථාවේදී කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වීමයි. රෝගියාට තමාගේ අක්මාවට කිසියම් ආපදාවක් සිදුවී තිබෙන බව වැටහෙන්නේ නෑ. එසේ වුවත් රෝගය උත්සන්න වී අක්මාව ඉතා දුර්වල තත්ත්වයකට පත් වූ පසුව රෝග ලක්ෂණ කීපයක් ම පෙන්නුම් කරනවා.

අක්මාව ලෙඩ වී එයින් සිදුවිය යුතු කාර්යයන් සිදු නොවන විට රුධිරයේ විෂ ද්‍රව්‍ය මට්ටම වැඩි වී ඒවා මොළයට බලපෑම් කරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස, දිවා කාලයේදී නිතර නිදිමත ස්වභාවයක් ඇතිවීම, බොහෝ විට රාත්‍රියට අවදිව සිටීම, රාත්‍රියට නිදා ගත්විට ඇතැම් විට භයානක සිහින පෙනීම ආදිය සිදුවිය හැකියි. එසේ ම රුධිරයේ විෂ සහිත ස්වභාවය අධික ලෙස මොළයට බලපෑම් කළ විට සිහි විකල් වීමට ද ඉඩ තිබෙනවා.
අක්මාව රෝගී වී හැඩය වෙනස්වී විකෘති වූ පසුව අක්මාවේ ගැටිති ඇතිවෙනවා. ඉහත සඳහන් කළ ආකාරයට සිරෝසිස් රෝගය ලෙස හැඳින්වෙන්නේ ඉහත තත්ත්වයයි. මෙහි ප්‍රතිඵලය වන්නේ අක්මාව හරහා සිදුවන රුධිර ගමනාගමනයට බාධා මතු වීමයි. එම බාධාවන් නිසා අක්මාව හරහා රුධිර ගමනේ පීඩනය වැඩි වෙනවා. එහි ප්‍රතිඵලය වන්නේ අක්මාව හරහා ගමන් කරන මාර්ගයට අමතරව හෘදයට රුධිරය ගමන් කිරීමට වෙනත් අතුරු මාර්ග විවෘත වීමයි.

මෙම අතුරු මාර්ග බොහෝ විට ගමන් කරන්නේ ගලනාළය, ආමාශය වැනි අවයවවල බිත්තිවලට ඉතා ආසන්නවයි. මෙම රුධිර පීඩනය තවත් වැඩි වූ විට එම රුධිර මාර්ගවල බිත්ති පුපුරා යනවා. රෝගියාට ලේ වමනය යන්නේ එවිටයි.

එසේම ඉහතින් සඳහන් කළ රුධිර පීඩනය මෙන් ම ශරීරයේ ඇල්බියුමින් මදකම නිසා රෝගියාගේ උදරය තුළ වතුර එක්රැස්වීමට පටන් ගන්නවා. එහි ප්‍රතිඵලය වන්නේ උදරය ඉදිමී ඉදිරියට නෙරා ඒමයි. එසේ ම පාදද ඉදිමෙනවා.
අක්මාව රෝගී වීම ඍජුව ම වකුගඩු සහ පෙනහලු රෝගී වීමට බලපෑම් ඇති කරනවා.

ඉහත සඳහන් කළ රෝග ලක්ෂණවලට අමතරව තවත් රෝග ලක්ෂණ කීපයක් ම අක්මා රෝගීන් වෙතින් පෙන්නුම් කෙරෙනවා. ඒ ඇස් කහ පැහැවීම, මුත්‍රා කහ පැහැ වීම, ශරීරය කැසීම වැනි ලක්ෂණ. එසේ වන්නේ පිත ශරීරයෙන් ඉවත් කිරීමට අපහසු වීම නිසයි. එසේ ම කෑම අරුචිය, ඔක්කාරයට ඒම අධික ;තහෙට්ටුව වැනි රෝග ලක්ෂණ ද පෙන්නුම් කෙරෙනවා. අක්මාවේ ක්‍රියාකාරිත්වය දුර්වල වූ විට ඇතිවන තවත් රෝගී තත්ත්වයක් වන්නේ රුධිරය කැටි ගැසීම නැවතීමයි. රුධිරය කැටි ගැසීමට උපකාරී වන රසායන නිසි පරිදි අක්මාව මගින් නිෂ්පාදනය නොවීම එසේ රුධිරය කැටි ගැසීම වැළකීමට හේතුවයි.

මෙහිදී ඇතිවන රෝග ලක්ෂණය වන්නේ ශරීරයේ තැනින් තැන කළු පැල්ලම් මතුවීමයි. සිරෝසිස් වැනි රෝග තත්ත්වයකට රෝගියා පත්වන විටත් පෙන්නුම් කෙරෙන්නේ මෙම රෝග ලක්ෂණමයි. මෙහිදී රෝග ලක්ෂණ ඉස්මතු වන්නේ අක්මාව රෝගී වී ඇති ප්‍රමාණය අනුවයි.

අක්මාව රෝගී වීම කලින් හඳුනාගන්න හැකියාවක් ඇත්තේම නැති ද?
තමාගේ අක්මාව රෝගී වී ඇති දැයි සෙවීමට කිසිවෙකුත් පෙලඹෙන්නේ නැහැ. ඒ; අක්මාවේ තත්ත්වය බරපතළ වනතෙක් කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වීමයි; කිසිදු අපහසුතාවයක් නො දැනීමයි. එහෙත් අක්මාව රෝගී වී ඇත්දැයි කලින් හඳුනාගත හැකියාව යම් පමණකට තිබෙනවා. ඒ; අක්මාවේ එන්සයිම ප්‍රමාණයන් පිළිබඳව පරික්ෂා කිරීමෙන්. මෙය කරන්නේ රුධිරය පරීක්ෂා කිරීමෙන්. එසේ ම උතබපච ඉධභදඤ සහ ඛ්.ඊ ස්කෑන් වැනි පරීක්ෂණ මගින් අක්මාව රෝගී වී ඇතිදැයි පරීක්ෂා කළ හැකියි.

අක්මා රෝග සුවපත් කිරීමට ප්‍රතිකාර තිබෙනවාද? ඒ මොනවාද?
අක්මාව අලුත්වැඩියා කිරීමට බෙහෙත් ඇත්තේ නෑ. අපට කළ හැක්කේ අක්මාව විනාශ කිරීමට හේතුවන සාධක ඉවත් කිරීමයි. අක්මාව රෝගී වන්නේ ප්‍රධාන වශයෙන් ම ශරීරයට බාහිරින් ඇතුළුවන විෂ ද්‍රව්‍යයන් නිසා බව දැන් පැහැදිලියි. එසේ අක්මාව රෝගී වූ විට කළ යුත්තේ අක්මාවට ඇතුළු වූ විෂ ද්‍රව්‍යයන් ඉවත් කිරීමට කටයුතු කිරීමයි. මත්පැන් පානය කරන පුද්ගලයින් එයින් වැළැක්විය යුතුයි. අක්මාවේ තෙල් තැන්පත්වී ඇත්නම් තෙල් ආහාර පාලනය කළ යුතුයි. එසේ ම අක්මාවේ වෛරස් තිබේ නම් ඒවා ඉවත් කිරීමට විනාශ කිරීමට ඖෂධ භාවිතා කළ හැකියි.

දෙවනුව අක්මාවෙන් නොකෙරෙන කාර්යයන් කරගෙන යාමට ශරීරයට උදව් කළ යුතුයි. උදාහරණයක් ලෙස රුධිරය කැටි ගැසීම නැවතී රෝගියාගේ ශරීරයෙන් වමනය ලෙස හෝ මල මඟින් හෝ දිගින් දිගටම රුධිරය පිට වේ නම්, රෝගියාට පිටතින් රුධිරය ලබාදිය යුතුයි. ඇල්බියුමින් ප්‍රෝටීනය ශරීරයේ නැති බව දැනේ නම්, ඒවා ද පිටතට ලබාදිය හැකියි.

ඒ වගේ ම අන්ත්‍රවල දී ශරීරයට විෂ උරා ගැනීම අඩු කිරීමට නම්, ශරීරයෙන් වේගයෙන් මල පහවීමට ඖෂධ ලබාදිය යුතුයි. අක්මාව යම් පමණකට හෝ යථා තත්ත්වයට පත්වන තුරු එසේ අක්මාවේ කාර්යයන්ට සහය දැක්විය හැකියි. එසේ ම ගලනාළය වැනි ඉන්ද්‍රියයන් වලින් රුධිරය ගලන විට ‘එන්ඩස්කොපි’ යන්ත්‍රයක ආධාරයෙන් තුවාල පරීක්ෂා කර බලා ප්‍රතිකාර කළ හැකියි. මෙම ප්‍රතිකාර මාස 6 කට වරක්වත් කළ යුතුයි.

එම ප්‍රතිකාරවලින් සුවයක් නැත්නම්?
එසේ නම් කළ යුත්තේ අක්මා බද්ධයක් සිදු කිරීමයි. සෑම මිනිසකුට පිහිටන්නේ එක් අක්මාවක් පමණයි. අක්මාවෙන් 1/3 ක් නිරෝගීව ඇතත් ඕනෑම අයකුට හොඳින් ජීවත්වීමට පුළුවන්. අක්මාව තිබෙන්නේ එකම ඉන්ද්‍රියන් ලෙස. වෛද්‍ය විද්‍යාවේ ශල්‍යකර්ම වලදී පහසුව සඳහා එය කොටස් අටකට බෙදා දක්වනවා. කිසියම් පුද්ගලයකුගේ පැවැත්මට අවශ්‍ය අක්මාවේ ප්‍රමාණය තීරණය වන්නේ එම පුද්ගලයාගේ ශරීර බර සහ ශරීර ප්‍රමාණය අනුවයි. අක්මා බද්ධයක් සිදුකිරීම සඳහා නිරෝගී පුද්ගලයකුගේ අක්මාවකින් කොටසක් ලබාගත යුතුයි. නිරෝගී අයකුගේ අක්මාවකින් කොටසක් රෝගී අයකු ගේ ජීවිතය බේරා ගැනීම සඳහා භාවිතා කරන විට නිරෝගී පුද්ගලයාගේ ජීවිතය කිසියම් අවදානම් සහගත තත්ත්වයකට පත්වෙනවා. එබැවින් අක්මා බද්ධයක් සිදු කිරීමට වඩාත් ම සුදුසු ක්‍රමය වන්නේ මිය ගිය පුද්ගලයකුගේ අක්මාවක් ලබාගෙන රෝගී පුද්ගලයාට බද්ධ කිරීමයි. මෙහිදී පුද්ගලයා මරණයට පත්වීම යන්න විද්‍යාත්මකව සිතා බැලිය යුතුයි. සත්‍ය වශයෙන් ම මියගිය අයකුගේ ශරීර කොටස් කිසිවෙකුටත් බද්ධ කළ නොහැකියි. මෙහිදී මිය ගිය පුද්ගලයකු ලෙස හඳුන්වන්නේ මොළය මිය ගිය එහෙත් අනෙකුත් ශරීර කොටස් තවමත් ක්‍රියාත්මක වන පුද්ගලයන්.

වර්තමානයේ දී රෝහලක දැඩි සත්කාර ඒකකයක ඇති උපකරණ මගින් මිනිසකුගේ ජීවිතය ඕනෑම කාලයක් පවත්වාගෙන යා හැකියි. එම පුද්ගලයාගේ මොළය මිය ගොස් ඇත්නම්, එසේ යන්ත්‍ර මගින් ජීවිතය පවත්වාගෙන යාම ප්‍රයෝජනවත් නෑ. ඒ; එම පුද්ගලයාට දැඩි සත්කාර ඒකකයේ උපකරණ නැතිනම් ජීවිතය පවත්වාගෙන යාමට නොහැකි නිසයි. අක්මා බද්ධයක් සඳහා යොදා ගත හැක්කේ කිසියම් අනතුරක් නිසා මොළය දැඩි ලෙස හානි වී මොළය මිය ගිය ද, දැඩි සත්කාර ඒකකවල ඇති උපකරණවල බලපෑම නිසා මිය ගොස් නැති අක්මාවක්. එවැනි අක්මාවක් රෝගී පුද්ගලයකුට බද්ධ කිරීමෙන් රෝගී පුද්ගලයාගේ ජීවිතය බේරාගත හැකියි. තම ඥාතියකුගේ මොළය මිය ගොස් දැඩි සත්කාර ඒකකයක සිටී නම්, එම ඥාතියාගේ අක්මාව අක්මා රෝගී පුද්ගලයකුට දන්දී ජීවිතයක් බේරාගත හැකියි. එය අගනා පුන්‍ය කර්මයක්.

එවැනි අක්මා බද්ධ කිරීම් ලංකාවේ සිදු කළ හැකි ද?
ඔව්, සිදු කළ හැකියි. 2010 වසරේ දී ඉතා සාර්ථක ලෙස අක්මා බද්ධයක් සිදු කරනු ලැබුවා. ඒ මොළය මියගිය පුද්ගලයකුගේ අක්මාවක් බද්ධ කිරීමෙන්. ඉන්පසුව එවැනි සැත්කම් කීපයක් ම ඉතාම සාර්ථකව සිදු කළා. එවැනි ශල්‍යකර්මයක් සිදු කිරීමට විදෙස් ගතවන්නේ නම් අතිවිශාල මුදලක් වැය වෙනවා. එහෙත් ඒ මුදලින් ඉතා අඩු ප්‍රමාණයක් වියදම් කර ලංකාවේදී මේ සැත්කම් සිදු කළ හැකියි. එහෙත් ඒ සඳහා සුදුසු වැඩපිළිවෙළක්, කාර්ය මණ්ඩලයක් අපේ තවම සැකසී නෑ. ඒ වගේ ම අක්මා බද්ධයන් සඳහා අක්මාව ලබාගත හැකි මොළය මිය ගිය පුද්ගලයින් විශාල ප්‍රමාණයක් ලංකාවේ රෝහල්වල දැඩි සත්කාර ඒකක තුළ මිය යනවා.
එවැනි රෝගීන් පිළිබඳව විස්තර සැපයීමේ යාන්ත්‍රණයක් තිබේ නම් අක්මා රෝගය නිසා වසරකට මිය යන පිරිසෙන් බොහෝ දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමේ හැකියාව තිබෙනවා. එවැනි සම්බන්ධීකරණයක් සිදු කිරීම බලධාරීන්ගේ වගකීමක්.

ජීවත්ව සිටින පුද්ගලයකුගේ අක්මාවකින් කොටසක් රෝගී පුද්ගලයකුට ලංකාව තුළදී බද්ධ කළ හැකි ද?
ඔව්. එය කළ හැකියි. ඒ හැකියාව අපට තිබෙනවා. නමුත් තවමත් එවැන්නක් සිදුකර නෑ.
මෑතදී අක්මා රෝගියකුට අක්මාවෙන් කොටසක් පරිත්‍යාග කළ ශ්‍රී ලාංකික කාන්තාවක් ඉන්දියාවේ දී මිය ගියා. එසේ වූයේ ඇයි?

ඕනෑම ශල්‍යකර්මයකට භාජනය වන පුද්ගලයකු මිය යාමට ඉතාම සුළු හැකියාවක් හෝ තිබෙනවා. අක්මා ශල්‍යකර්මයකදී එසේ මිය යාමට ඇති හැකියාව 500 : 1 ක් පමණ වෙනවා. වකුගඩු රෝගීන්ගේ එය 2000 : 1 ක් පමණ වෙනවා. එවැනි අවදානමක් ඕනෑම ශල්‍යකර්මයකදී තිබෙනවා.

අක්මා රෝගීන්ගේ ආහාර වේල කුමක් විය යුතු ද?
අක්මා රෝගීන් නියමිත වේලාවට ආහාර ගැනීම වැදගත්. ඒ වගේ ම ප්‍රෝටීන අඩංගු ආහාර, කොළ එළවළු වැඩිපුර ආහාරයට එක් කර ගැනීම ඉතාම වැදගත්. එසේ ම තෙල් පිටි අඩංගු ආහාර අඩු කළ යුතුයි. අක්මා රෝගීන්ට ප්‍රෝටීන ආහාර අගුණයි කීම මිත්‍යාවක්.
http://www.silumina.lk/2013/01/20/_art.asp?fn=am1301201

No comments:

Post a Comment