Friday, September 5, 2014

වකුගඩු රැකගන්න වත්පිළිවෙත්

වකුගඩු ආසාදනයට ලක්‌ වූවන් වෙනදාට වඩා වර්තමානයේ හමුවේ. ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ අප ගෙවන ජීවන රටාවේ අක්‍රමවත් බවය.

මිනිසුන්ගේත් තිරිසන් සතුන්ගේත් වකුගඩු පිහිටා ඇත්තේ වෙනස්‌වය. සතුන්ගේ සිරුරේ වම් අත පැත්තට බරවත් මිනිසුන්ගේ සිරුරේ දකුණු අත පැත්තට බරවත් වකුගඩු පිහිටා ඇත. සිව්පා සතුනට වකුගඩු රෝග ඇතිවන්නේ කලාතුරකිනි. ඊට හේතුව ඔවුන් ගහ කොළ ඇසුරෙහි ජීවත්වන බැවිනි. නමුත් වර්තමානයේ මිනිසුන් ඉතා සීමිත ඉඩකඩක කෘත්‍රිමව සකස්‌ කළ ආහාර පාන අනුභව කරමින් අපිරිසිදු වාතාශ්‍රය සහිත පරිසරයක ජීවත්වීම නිසා වකුගඩු ආසාදන ඇතිවීම බහුල වී ඇත.

නාඩි වෛද්‍ය විද්‍යාවට අනුව මහා සෘෂිවරු විසින් වකුගඩු රෝග ගැන සඳහන් කර ඇත්තේ "වකුගඩු රෝගා බාධා මනුස්‌සා තෘතකර්හි තෘතකර්හි ආසාදන භාඝා පීඩා වකුගඩු රෝගා බාධා ස්‌ත්‍රී පුරුෂ රෝගා බාධා හෙයි හෙයි" ලෙසිනි. එනම් කාන්තාවන් සහ පිරිමින් ගෙවන ජීවන රටාව අනුව ඔවුනට වකුගඩු ආසාදන ඇතිවන බවත් ඉන්ම ඔවුන් මරණයට පත්වන බවත්ය.

වකුගඩු ආසාදනය වීම

වකුගඩු යනු මිනිසාගේ ජීවිතය පාලනය කරන ඉන්ද්‍රිය අතරින් ප්‍රධාන තැනක්‌ ගනු ලබන ඉන්ද්‍රියයකි.

වකුගඩු ආරක්‍ෂා වන්නේ ජලය සහ සුළඟ මගිනි. අප පානය කරන ජලය අපිරිසිදුනම් ආශ්වාස ප්‍රශ්වාස කරන වාතය අපිරිසිදුනම් ඉතා පහසුවෙන් වකුගඩු ආසාධනයට ලක්‌ වේ.

මවුකුසේ හටගන්නා කළලයට මාස තුනක්‌ සම්පූර්ණ වූ විට වකුගඩු වර්ධනය වන්නට පටන් ගනී. එතැන් පටන් වයස අවුරුදු 20 පමණ වන තුරු පුද්ගලයකුගේ වකුගඩු ඉතා පැහැපත්ව පවතී. එසේ වන්නේ මෙම වයස දක්‌වා පිරිසිදු ආහාරපාන ගැනීමට උනන්දු වන බැවිනි. ඉන්පසු මත්පැන්, මත්ද්‍රව්‍ය, දුම්වැටි, වස විස සහිත ආහාර වර්ග ගැනීම වැඩි වන නිසා ක්‍රමක්‍රමයෙන් වකුගඩු පැහැයද දුර්වර්ණ වේ. ක්‍රියාකාරීත්වයේද දුර්වලතා හට ගනී. ඉන්පසු වකුගඩු විශාල වීම, ඉදිමුම බිබිලි සහිත ගෙඩි හට ගැනීම සිදු වේ.

මෙලෙස වකුගඩු ක්‍රියාකාරිත්වය දුර්වල වන විට නිතර නිතර මුත්‍රා ආසාදන හට ගැනීම, ආහාර අරුචිය, විඩාව දැනීම, දෙපා ඉදිමුම වැනි රෝග ලක්‍ෂණ මතුවන්නට පටන් ගනී.

රෝග ලක්‍ෂණ මතුවන විටදීම නිසි ප්‍රතිකාර කළහොත් වකුගඩු ආසාදන නිසා සිදු වන වකුගඩු අක්‍රීය වීම වළක්‌වාගත හැකිය. එසේ නොමැතිව රෝග ලක්‍ෂණ කිහිපයක්‌ මතුවූ විට ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් ලැබෙන ප්‍රතිඵලයක්‌ නැත.

වකුගඩු රැකගන්නා හැටි

සෑම පුද්ගලයකුම තම වකුගඩු ආරක්‍ෂා කර ගැනීම කුඩා කල සිට හුරු පුරුදුවිය යුතුය. ඒ සඳහා පිරිසිදු ජලය පානය, පිරිසිදු වාතාශ්‍රය සහිත පරිසරයක ජීවත් වීම ශරීරය පිරිසිදුව තබා ගැනීම පුරුද්දක්‌ බවට පත්කර ගත යුතුය.

අක්‌කපාන කොළ, අමුක්‌කරා පිටි වැල්කොහිල අල, හීන් බෝවිටියා මල්, වැල් තිබ්බටු ගස සහමුලින්ම, නීරමුල්ලිය මුල්, කුප්පමේනියා මුල් සමව ගෙන වියළා තම්බා පානය කිරීම හෝ පිටිකරගෙන තේ හැන්දක්‌ බැගින් දිනපතා පානය කිරීම මගින් වකුගඩු රැකගත හැකිය.

මාදං පොතු, කොහොඹ පොතු, සියඹලා පොතු, යක්‌නාරං පොතු, කහට පොතු, ඇඹුල් අඹ පොතු, කලුදුරු සමව ගෙන අව්වේ වියළා පිටිකරගෙන උදේ සවස තේ හැඳි 1/2 ක්‌ සීනි දමා පානය කිරීම මගින්ද වකුගඩු රැකගත හැකිය.

නාඩි වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය වෛද්‍ය ජිනසිරි ලියන්වෙල
අංක 118/2, අඟුලාන දුම්රියපොළ පාර, උද්‍යාන මාවත, අඟුලාන, මොරටුව.
දුරකථන (- 0112632225


published in Divaina on 19-04-2014
http://www.divaina.com/2014/04/19/sayanaya03.html

No comments:

Post a Comment