Friday, September 5, 2014

අක්මාවේ තෙල්ද? බලාගෙනයි ! සිරෝසිස් හැදෙන්නට පුළුවන්

අක්මාව යනු සිරුරේ වැදගත්ම ග්‍රන්ථියකි. සිරුරට අවශ්‍ය ප්‍රෝටීන් නිෂ්පාදනය කිරීමටත් සිරුරට ඇතුල්වන හානිකර අපද්‍රව්‍ය ඉවත්කිරීමේ කාර්යභාරයට උරදෙන අක්මාව වටිනාම ග්‍රන්ථියක් බව ඔබ නොදන්නවා විය හැකියි.
අධික මත්පැන් පානය නිසා වැළඳෙන ‘සිරෝසිස්’ රෝගය පිළිබඳව නම් ඔබ අසා ඇති බවට කිසිදු සැකයක් නැත. ‘සිරෝසිස්’ රෝගය නිසා අක්මාවට හානිවී අක්මාව අකර්මන්‍ය වී ජීවිතයෙන් පවා සමු ගත් ඔබ දන්නා හිතවතුන් ඕනෑ තරම් ඇති.
අක්මාව අකර්මන්‍ය වීමට හේතු සාධක වන රෝග මොනවාද? යන්න සොයා බැලීම වඩාත් වැදගත් වන්නේ වර්තමානයේ බහුල වශයෙන් අක්මාව ආශි‍්‍රත රෝග වැළඳීමේ ප්‍රවණතාවය ක්‍රමයෙන් වර්ධනය වී තිබෙන නිසායි. ඒ පිළිබඳව “ආරෝග්‍යා” වෙනුවෙන් අප හා එක්වන්නේ රාගම ශික්ෂණ රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතායි.

අක්මාව ආශි‍්‍රතව ඇතිවන්නා වූ රෝග මොනවාද?
බහුල වශයෙන් අක්මාව කේන්ද්‍ර කොට ඇතිවන රෝගය තමයි “සිරෝසීස්” රෝගය. මෙය රෝගය වැඩි වශයෙන් වැළඳෙන්නේ අධික ලෙස මත්පැන් පානය කරන පුරුෂ පක්ෂයටයි. ඊට අමතරව හෙපටයිටීස් A, B, C ආදී වශයෙන් වැළඳෙන හෙපටයිටීස් ඝනයේ රෝග වලින් ද අක්මාවට හානි සිදු වෙනවා. මී උණ, ඩෙංගු, ආදී රෝග නිසාද අක්මාවට වක්‍රවාකාරයෙන් හානි සිදුවිය හැකියි. නමුත් බෝ නොවන රෝග ඝනයට අයත් අක්මාවේ තෙල් තැන්පත්වී Fatty liver  නමැති රෝගය නිසා සෘජු ලෙසම අක්මාවට හානි සිදුවෙනවා.
Fatty liver  නොහොත් අක්මා වේ මේදය තැන්පත් වීමේ රෝගය ඇතිවන්නේ කෙළෙස ද?
මෙයට ප්‍රධාන හේතුව වන්නේ අධික මේදය සහිත ආහාර අනුභව කිරීමයි. තෙල් සහිත ආහාර අනුභවයේදී අක්මාවේ තෙල් තැන්පත්වී හානි සිදු වනවා. මෙයයි Fatty liver  ලෙස හඳුන්වන්නේ.

මෙම රෝගයේ රෝග ලක්ෂණ මොනවාද?
අක්මාවේ මේදය Fatty liver රෝගයට කිසිදු රෝග ලක්ෂණයක් නැහැ. නමුත් ස්ථුලතාවය අධික අයට මෙම රෝගය ඇත්දැයි සැක කළ හැකියි. වෙනත් රෝග නිධානයක් සඳහා වෛද්‍යවරයකු මුණ ගැසීමට ගිය බොහෝ අවස්ථාවලදී මෙම රෝගය පිළිබඳව හෝඩුවාවක් දැනගත හැකි වෙනවා. බොහෝවිට අක්මාව ඉදිමී ඇත්නම් එය බාහිර සලකුණක්. වෛද්‍යවරයා විසින් උදරය පරීක්‍ෂා කිරීමේදී Fatty liver පිළිබඳව සැකයක් මතුකර ගත හැකියි. ඒ සමඟම රෝගියාට  Metabolic Syndrome මෙටබොලික් සින්ඩ්‍රොම් නැමැති රෝග ලක්ෂණ රෝගියාට තිබේ නම් Fatty liver  පිළිබඳව අවධානය යොමුකරනවා.

මොකක්ද මේ Metabolic Syndrome මෙටබොලික් සින්ඩ්‍රොම් කියන්නේ?
මෙටබොලික් සින්ඩ්‍රොම් යනු අධික රුධිර පීඩනය ස්ථුලතාවය, දියවැඩියාව, රුධිරයේ තිබෙන Triglyceride ට්‍රයග්ලිසරයිඩ් නමැති මේදය වැඩිවීම යනාදියත් මෙවැනි රෝගාබාධ වලින් එකකින් හෝ පෙළෙන රෝගියකු සිටී නම් අනිවාර්යයෙන්ම Fatty liver පිළිබඳව පරීක්‍ෂා කරනවා.
එයට හේතුව මේ රෝග අතර යම් කිසි සබඳතාවයක් තිබීමයි. ස්ථුලතාවය හෝ ඉහත සඳහන් රෝගයකින් යමකු පෙළෙන්නේ නම් Fatty liver රෝගය පිළිබඳව පරීක්‍ෂාකර බැලිය යුතුයි.
Fatty liver ඇත්දැයි සැක හැර දැන ගැනීමට සිදුකරන පරීක්‍ෂණය Fatty liver අක්මාවේ තෙල් තිබේදැයි දැන ගැනීමට සිදු කළ යුතු පරීක්‍ෂණය වන්නේ Liver Function Test නමැති රුධිර පරීක්‍ෂණයෙන්. එම පරීක්‍ෂණයේ ප්‍රතිඵලය ලෙස අක්මාවේ ඇති එන්සයිම වැඩි වුවහොත් බොහෝ දුරට එය Fatty liver ලෙස නිගමනයකට පැමිණිය හැකියි.
නමුත් අක්මාවේ එන්සයිම වැඩිවන රෝග තත්ත්වයන් තවත් තිබෙන බවත් මතක තබාගත යුතුයි. එනමුත් මෙම පරීක්‍ෂණයෙන් බොහෝදුරට Fatty liver තත්ත්වයක් ලෙස රෝගය නිරීක්‍ෂණය කළ හැකියි.

එය වඩාත් සැකහැර දැන ගැනීමට සිදුකළ යුතු තවත් පරීක්‍ෂණ තිබෙනවාද?
ඔව් උදරයේ ultra sound scan පරීක්‍ෂණයකින් Fatty liver ද කියා තවදුරටත් තහවුරු කළ හැකිය. අක්මාවේ biopsy බයප්සි කිරීම වැනි පරීක්‍ෂණ එතරම් අවශ්‍ය වන්නේ නැහැ.

මෙම රෝග පරීක්‍ෂාව අනුව Fatty liver  රෝගියකුට අක්මාවේ මේදය තිබිය යුත්තේ කිනම් ප්‍රමාණයක්ද?
අක්මාවේ මේදය 30% ක් හෝ ඊට වඩා තිබේ නම් එය  Fatty liver ලෙස හඳුන්වන්නට පුළුවන්. සාමාන්‍ය පුද්ගලයකුට අක්මාවේ මේදය තිබිය යුත්තේ 30% කට වඩා අඩු ප්‍රමාණණයක්. එසේම 30% ආසන්නව තිබේ නම් එය අනතුරු ඇඟවීමක් ලෙස සදහන් කරන්නට පුළුවන්.

අක්මාවේ මේදය ඉවත් කිරීම සඳහා සිදුකෙරෙන ප්‍රතිකාර කෙබඳුද?
මේ සඳහා ඖෂධීය ප්‍රතිකාරයක් නැහැ. මේ සඳහා කළ යුත්තේ තමන් විසින්ම තමන් පාලනය කිරීමයි. විශේෂයෙන් මෙවැනි රෝගීන් ආහාර පාලනය කළ යුතුමයි. වැඩි කැලරි ප්‍රමාණයකින් යුත් ආහාර ගැනීමෙන් හැකිතාක් වැළකිය යුතුයි.
විශේෂයෙන්ම මේදය සහිත ආහාර මුලුමනින්ම නැවැත්විය යුතුයි. ගැඹුරු තෙලේ බඳින ආහාරවල මේදය බහුල වශයෙන් උරාගැනීමක් සිදුවන නිසා එවැනි ආහාර සිරුරට කිසිසේත්ම සුදුසු නැත. ක්ෂණික ආහාර Fast Food කොහෙත්ම හොඳ නැහැ.
රතුමස් ආහාරයට ගැනීමෙන් වැලකිය යුතු අතර ඔබ මස් පරිභෝජනය කරන පුද්ගලයෙක් නම් කුකුල් මස් වල හම ඉවත් කොට ආහාරයට ගත හැකිය. ඇතැම් තෙල් වර්ග කොලොස්ටරෝල් රහිත බවට ප්‍රත්‍යක්ෂ කර තිබුණද එවැනි තෙල් වුවද ගැඹුරු තෙල් ලෙස Fast Food කිරීමෙන් ආහාරවල ගුණය ඉවත්වී, තෙල් වල ඇති මේදය තුළින් සිරුරට අහිතකර රසායන ද්‍රව්‍ය නිපදවන්නට පුළුවන. එබැවින් Deep fry රෝගයෙන් පෙළෙන්නන් ගැඹුරු තෙලේ බඳින ආහාර සහ තෙම්පරාදු කරන ලද ආහාරවලින් වැලකිය යුතුයි.
දෙවන කරුණ වන්නේ ව්‍යායාමයයි. දිනපතා ව්‍යායාමේ යෙදීමෙන් ජ්චබබර තඪමඥප රෝගයෙන් මිදීමට හැකිවනවා. සාමාන්‍යයෙන් මෙම රෝගය වැළඳෙන්නේ මැදි විය වයස 45 ඉක්මවූ උදවියට බැවින් වයසට සුදුසු සිරුරේ ශක්තිය මත පමණක් සිදු කළ හැකි ව්‍යායාම්වල යෙදිය යුතුයි.

මෙවන් අයට වඩාත් යෝග්‍ය වන්නේ ඇවිදීමයි. ඇවිදීමේ සාමාන්‍ය වේගය විනිත්තු 10 ක් තුළදී කි. මී. 1 වේගයෙන් ඇවිදීම කළ යුතුයි. (විශේෂයෙන්ම හදවත් රෝගීන්) මේ ඇවිදීමේ ව්‍යායාමය නොකළ යුතුයි. මෙලෙස දිනකට පැය 1/2 බැගින් සතියට දින 5 ක් වේගයෙන් ඇවිදිය යුතුයි. ඇතැම් අයට මෙතරම් වේගවත් ලෙස ව්‍යායාම් කිරීමට නොහැකි ශාරීරික සෞඛ්‍ය මට්ටමක තිබේනම් තමන්ට හැකි පමණින් හෝ ව්‍යායාමයේ යෙදීම අනිවාර්යයයි.

Fatty liver රෝගය ඖෂධ නොමැතිව මේ ආකාරයට සුවකළ හැකිද?
ඔව් අනිකුත් රෝග මෙන් නොව සියයට සියයක්ම යථා තත්ත්වයට ගෙන එන්නට පුළුවන්. කිසිදු ඖෂධයක් නොමැතිව රෝගය සුවකළ හැකියි.
මෙම රෝගයට ඖෂධ නැද්ද?
ඖෂධ පිළිබඳව පර්යේෂණ බොහොමයක්ම පවත්වා තිබුණත් මෙයට අවශ්‍ය ඖෂධ පිළිබඳව තවමත් විද්‍යාත්මකව ඔප්පුවී නැහැ. විටමින් ඊ, මේදය, දියකරවන්නක් නිසා දැනට කරනලද පර්යේෂණ වලින් පෙන්වාදී ඇත්තේ විටමින් ඊ වලින් සහනයක් සැළසෙන බවයි. එහෙත් බහුල වශයෙන් තෙල් සහිත ආහාර ගෙන, ව්‍යායාම්වල නොයෙදී එකතැන කා බී - නිදා සිටිමින් අනතුරුව විටමින් ඊ පමණක් පාවිච්චි කළාට වැඩක් වන්නේ නැහැ. මේ රෝගය සුව වන්නේ නැහැ. ආහාර පද්ධතිය වෙනස් කරමින් ව්‍යායාම්වල යෙදෙමින් විටමින් ඊ පාවිච්චි කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැකියි. නමුත් මේ සියල්ලම කළ යුත්තේ වෛද්‍ය නිර්දේශය මතයි.

වෛද්‍ය උපදෙස් නිසි ආකාරට පිළිපැදීමෙන් අනතුරුව කිනම් කාලයකදී රෝගය සුවකළ හැකිද?
තමන්ගේ සිරුරේ බර අඩුකර ගැනීමට දක්වන උනන්දුව මතයි, කරන ව්‍යායාම් මතයි, කාලය තීරණය වන්නේ. මේ ආකාරයට නොකඩවා පාච්චියේ යෙදුණොත් ඉක්මණින් සුවකරගත හැකියි.

මෙම රෝගය වැළඳීමේ වැඩිම ප්‍රවණතාවය ඇත්තේ කාන්තාවන්ටද පුරුෂ පක්ෂයටද?
කාන්තාවන්ටයි. එයට හේතුව වන්නේ දරුවන් ලැබීමෙන් පසු කාන්තාවන් සාමාන්‍ය ව්‍යායාම් වලින් තොර වීමයි. පුරුෂ පක්ෂය ව්‍යායාම් වල යෙදෙන නිසා බොහෝදුරට ඔවුන්ට Fatty liver ඇතිවන්නේ නැහැ.

Fatty liver තත්ත්වයට හරියාකාරව ප්‍රතිකර්ම නොකළොත් (ව්‍යායාම් - ආහාර පාලනය) තත්ත්වය දරුණු අතට හැරෙනවාද?
ඔව් අක්මාවේ තෙල් ප්‍රමාණය 20% ඉක්මවීමේදී NASH තත්ත්වය බවට පත්වී සිරෝසීස් වැළෙඳන්නට පුළුවන්. සාමාන්‍යයෙන් සිරෝසීස් ඇතිවන්නේ නිතරම මත්පැන් පානය කරන අයටයි. නමුත් Fatty liver තත්ත්වය නිසාත් අක්මාවට හානි වී සිරෝසීස් වැළඳෙනවා. ඇතැම් කාන්තාවන්ට සිරෝසිස් වැළඳී අසාධ්‍ය තත්ත්වයට පත්වන්නේ මේ හේතුවෙන්. මේ තත්ත්වය දරුණු අතට හැරී සිරෝසීස් වැළඳිය හැකි නිසා මුල් අවදිය තුළම ව්‍යායාම් සහ ආහාර රටාවේ වෙනසක් කඩිනමින් ඇති කළ යුතුයි.

සාමාන්‍යයෙන් ස්ථුල අයට පමණද Fatty liver සෑදෙන්නේ?
ඔව්. ස්ථුලත්වය නිසා අක්මාවේ මේදය තැම්පත්වීම වැඩියි. සිහින් සිරුරකට හිමිකම් කියන අයට එවැනි තත්ත්වයක් උදාවන්නේ බොහොම කලාතුරකින්. ඇතැම් කාන්තාවන් සිතනවා අපි ගෙදර දොරේ වැඩ කටයුතු කිරීම ව්‍යායාමයට ප්‍රමාණවත් කියා එය කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ.පිටිකෙටීම දර පැලීම වැනි ක්‍රියාදාමයන් වල නිරත වන්නේ නැතිනම්, අනිවාර්යයෙන්ම ඇවිදීම කළ යුතුයි.

වෙනයම් රෝග Fatty liver තත්ත්වය උදාවීමට හේතු වනවාද?
ඔව්. “දියවැඩියා” රෝගින්ට මේ තත්ත්වය උදාවීමට තිබෙන සීමාව වැඩියි. ඉන්සියුලින් ක්‍රියාකාරිත්වය සිදු නොවන නිසා (ඉන්සියුලින් වලින් සීනි සහ මේදය පාලනය කරනවා) එවැනි රෝගින් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මේදය සහිත ආහාර අවම වශයෙන් ආහාරයට ගත යුතුයි.

කුඩා ළමුන්ටත් මෙම රෝගී තත්ත්වයට මුහුණ දීමට සිදුවනවාද?
ඔව් විශාල ප්‍රමාණයක් නොසිටියත් අපට මුණ ගැසී තිබෙනවා අවුරුදු 12, 13, 15 අතර Fatty liver තත්ත්වයෙන් පීඩා විඳින දරුවන්. දරුවන්ට මනා ආහාර පාලනයක් සහ ව්‍යායාම් අත්‍යවශ්‍යයි. එවැනි වාතාවරණයක් නොතිබුණොත් දරුවන්ට ඉතා ඉක්මණින් Fatty liver තත්ත්වයට මුහුණ දීමට සිදුවනවා. අවුරුදු 25 - 30 වන විට ඔවුන් රෝගී භාවයට පත්වේවි.

සිරෝසිස් තත්ත්වයෙන් ඔබ්බට ඇතිවන රෝගී තත්ත්වයන් මොනවාද?
සිරෝසිස් රෝගියකුට අනිකුත් රෝගීන්ට වඩා අක්මාවේ පිළිකාමය තත්ත්වයක් ඇතිවන්නට පුළුවන්. “හිපටෝමා’ නැමැති මේ පිළිකා මය තත්ත්වය ඇතිවිය හැකි බව පරීක්‍ෂණ වලින් ඔප්පුවී හමාරයි. එය අතිශයින් භයානක තත්ත්වයක්. ආරම්භයේදීම ව්‍යායාම් කර නිවැරැදි ආහාර රටාවකට යොමුවී රෝගයෙන් මිදෙන්න උත්සාහ ගන්න. නැතිනම් පසුවට අමාරුවේ වැටේවි.

Published in Dinamina on 01-06-2011
http://www.dinamina.lk/arogya/art.asp?id=2011/06/01/apg08_0

No comments:

Post a Comment